Posted on

රාග සිතින් පීඩා විදි භික්ෂුව

රාග සිතින් පීඩා විදි භික්ෂුව

දීර්ඝ කාලයක් මුළුල්ලේ එක් හිමිනමක් රාගයෙන් පීඩා විඳිනවා. උන්හන්සේ දීර්ඝ කාලයක්ම මනැස සන්සුන් කරන්නට උත්සාහ කළා. සිතේ කිසිම සන්සුන් බවක් ඇතිවුණේ නැහැ. එක් දිනක් උන්වහන්සේ කල්පනා කරනවා මෙහෙම මහණකම් කරලා මොකටද? රාග සිතකින් පීඩා විඳ විඳ මහණකම් කරන්නේ නැතුව එක්කෝ මම සිවුරු හැර යන්න ඕන. නැත්නම් ජීවිතය නැතිකර ගන්න ඕන. සිවුරු හැර යනවාට වඩා හොඳයි මහණ ජීවිතයේදීම ජීවිතය නැතිකර ගන්න එක. නමුත් ඉන් පස්සේත් නැවත ඉපදීමක් උරුමයි. නැවත සුගතියක උපදින්නනම් කුසල් අරමුණක් සිහිකර ගන්න ඕන. මට මොකක්ද සිහිකර ගන්න තිබෙන කුසලය කියලා තමාගේ ජීවිතය පිළිබඳව ආවර්ජනා කර බලද්දී දැනුනා මොනතරම් රාග සිතින් තමන් පීඩා වින්ඳත් තමා සමාදන් වූ සිල් බිඳී නැහැ. මනැස ව්‍යාකූලයි තමයි. නමුත් ශික්ෂාපද ආරක්ෂා වෙලා. කයින් වචනයෙන් ඒවා ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා උන්වහන්සේට ලොකු සතුටක් දැනුනා තමාගේ සීලය ගැන. ඒ සීලය ගැන ඇති වූ සතුටත් එක්ක උන්වහන්සේ කල්පනා කරනවා එහෙනම් තව එක පාරක් මම උත්සාහ කර බලන්න ඕන මේ රාග සිත දුරු කරන්න කියලා උන්වහන්සේ සොහොන් පිටියකට ගිහිල්ලා හැබෑම මළකඳක් දෙස බලාගෙන අසුභ සංඥාව වඩන්න තීරණය කළා.

දිනක් මිනී අතහැර දැමු සොහොනකට ගියා. සොහොනේ තැන තැන මිනි දාලා සත්තු කාලා ඇටකටුද, මස් වැදිලිද, හිස් කබල්ද තැන තැන. වැස්ස වැහැලා ඒවා පොඟලා මුළු පරිසරයම දුඟදයි. මේ හිමියන් ඒ දුඟද පරිසරය දරාගෙන ටික ටික සොහොනේ මැදට ගියා. මැදට ගියාම උන්වහන්සේ දැක්කා එක මළකඳක් ඉදිමිලා කුණුවෙලා තනිකරම මළමිනිය වැහෙන්න පණුවෝ උතුරනවා. ස්ත්‍රියක්ද, පුරුෂයෙක්ද කියා සොයාගන්න බැරි තරමට වෙනස් වෙලා. උන්වහන්සේ කල්පනා කළා මෙම මළකඳ හොඳයි මට අසුභය වඩන්න කියා එතැනට වෙලා මේ කයත් මගේ කය වගේ තිබුණ එකක්. මේක අද කුණුවෙලා තිබෙන්නේ. මගේ කයත් යම් දිනෙක මේ ලෙසම කුණුවෙනවා නේද? කියා සංසන්දනය කරමින් අසුභ සංඥාව වඩමින් ඉන්නවිට එකපාරමට දැක්කා දිගැටි කෙස් රොදක් තිබෙනවා. දිගැටි කෙස් රොදක් තිබෙන්නේ ස්ත්‍රියකට. හඳුනාගත්තා මේ ස්ත්‍රියකගේ මළකඳක් කියලා. ස්ත්‍රිය කියන සංඥාව ඇතිවෙනවිටම උන්වහන්සේට රාග සිත මතුවුණා. දැන් ඔක්කාරයත් නැහැ. දුගඳත් නැහැ. පිළිකුලක් දැනෙන්නේ නැහැ.

සුභ සංඥාව මතුවුණා. ඒ සමඟම උන්වහන්සේ වික්ෂිප්ත වුණා. ඒ වික්ෂිප්තභාවයක් සමඟම ළඟ තිබු ගහක් ළඟ වාඩි වුණා. වාඩිවෙලා අසුභය වඩන එක පැත්තකින් තියලා මට මේ මොකද වුණේ. මට කොහොමද රාග සිතක් ඇතිවුණේ. මේ ඉතාම දුර්ගන්ද පණුුවෝ රැඳුණු මේ මළකඳ ගැන සිහිබුද්ධිය තිබෙන කෙනෙකුට රාගය ඇතිවන්න පුළුවන්ද? මට කොහොමද රාගය මතුවුනේ කියලා සෙවුවා. මෙතෙක් කල් රාග සිත දුරු කරන්නට අසුභය වැඩූ එක. අද කළේ අසුභය වඩන්නේ නැතිව රාග සිත ඇතිවුණේ කොහොමද කියා සෙවීමයි. මළකඳ ගැන නොවේ රාග සිත ඇතිවුණේ. මළකඳේ දුටු කෙස් රොදෙන් ස්ත්‍රි සංඥාව එනකොටම මනසින් මැවුනා උන්වහන්සේ කැමැති ස්ත්‍රි සංඥාව. ඒ ස්ත්‍රි සංඥාව සමඟයි රාගය මතුවුණේ. ඒක නැවත නැවත ආස්වාදයන කරන විට රාගය උස්සන්න වෙනවා. මෙහෙම කල්පනා කරන විට දැනුනා මේ රාග සිත මොනතරම් අපිව මුලා කරනවාද කියලා. ඒ රාග සිත නැති දේ ඇතිකරලා පෙන්වනවා. ඇති දේ නැති කරනවා. මේ මළකඳ කුණුගඳ, අප්‍රසන්නභාවය සියල්ලම යට කළා. නැති ප්‍රසාදයක් සිතින් මතුකළා. මේ ආකාරයට නේද මනසේ ගොඩනැඟෙන යම්කිසි සංඥාවක්, විපල්ලාසයක්, චිත්ත විපල්යාසයක්, දිට්ඨි විපල්යාසයක් (විපල්යාසයක් කියන්නේ විකෘතිවීමක්) ඇති කරගන්නවා. ඒ විකෘති විපල්යාසයක් විසින් මවනවා යම්කිසි අවස්ථාවක්. එයින් මනෝභාවය ක්‍රියාත්මක වෙනවා. ඒ සමඟම වැටහෙන්න ගත්තා මේ සරාගි චින්තනය ගොඩ නැඟුනාට පස්සේ අපේ මනැස කොතරම් අඳුරු වෙනවාද? කෙතරම් මුලා වෙනවාද? අනන්ත සසරේත් මට වැරුදුනේ මෙතැන නේද? ලෝකයේ තිබෙන දේට නොවේ මගේ මනැස මවාදෙන දේටයි මම රැවටුනේ කියලා දකිනවිට රාගය ඇතිවෙන්නේ කොහොමද? රාගය දුරු වෙන්නේ කොහොමද? ඒකේ මූලය මොකක්ද? මේ හැම දෙයක්ම නිවැරැදිව දකිනවා. මේකට තමා පජානාති කියන්නේ. (පජානාති – හේතුව ඵලය වශයෙන් මූලය වශයෙන් ඇතිවීම නැතිවීම හරියටම දකීම) උන්වහන්සේ හරියටම රාගයේ ස්වභාවය දකිනවිටම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වුනා.

Posted on

මත්පැන් වැළදූ සාගත හිමි

මත්පැන් වැළදූ සාගත හිමි

බුදුන් වහන්සේ කොසඹෑ නුවර වැඩ සිටිය සේක්, භික්ෂූන් ද සමඟ සැවැත්නුවර වස් විසීමට වැඩිය සේක. වස්වසන අතර ප්‍රාදේශීය නිරීක්ෂණ චාරිකාවන්හි යෙදෙන සේක. භික්ෂූන් සමඟය. එක් දිනෙක එසේ “භද්දකච්චානා” නම් නියම්ගම ඔස්සේ වඩිමින් සිටිය සේක්, ඒ ගමන අනතුරුදායක ය යි කියා සිටීමට ඒ පෙදෙසේ ගොවියෝ, ගවපාලකයෝ ආදීහු දිව ආහ.

”ස්වාමීනි, මහාභයානක නාගරාජයෙක් අම්බතීර්ථය ප්‍රදේශයේ අර පෙනෙන ජටාධර තාපසාරාමයේ ඉන්නවා…ඔබවහන්සේලාට බේරිලා යන්න පුළුවන් වෙන්නේ නැහැ…”

දෙවන වරටත්, තුන්වන වරටත් කෙරුණු ඒ අනතුරු ඇඟවීම නොතකා ඉදිරියට ම වඩිනා කල්හි අම්බතීර්ථ තාපසාරාමයේ විෂඝෝර නාගරාජයා දෂ්ට කිරීමට දිවආවේය. ඒ මහා නාගයා අධිෂ්ඨාන බලයෙන් දමනය කිරීමට හෙවත් අවනත කරගැනීමට භික්ෂුනමක් සමත් වූයේ ය. “සාගත” නම් භික්ෂුුනම ය. ඒ සිද්ධියත් භික්ෂූන් වහන්සේත් පිළිබඳ කීර්තිය මුළු දඹදිව පුරා පැතිරගියේය.

සැවැත්නුවර වස් කාලය අවසන් ව, කොසඹෑ නුවරට වඩින බුදුසමිඳුන් හා භික්ෂූන් පිළිගැනිමට සැදැහැවත්තු පෙරමඟට ආහ. බුදුන්වහන්සේට පමණක් දෙවැනි ව ඔවුන්ගේ අවධානයට යොමු වුණ සේක් සාගත ස්වාමීන් වහන්සේ ය. පැතිර පැවැති නාගදමන කීර්තිය නිසා ය. සාගත සමිඳුන් වෙත පැමිණි ඔවුහු මෙසේ ඇසූහ:

”වළඳන්නට හොඳට ම කැමැති දෙයක් ඔබවහන්සේට ලබාගන්නට අමාරු වෙලා තියෙනවා ද? ඒවා ලබාදෙන්න අපට කියන්න!”

සාගත ස්ථවරයාණෝ නිහඬව සිටියහ. කැමැති දේ ඉල්ලා ලබාගැනීම භික්ෂු සිරිතක් නොවන බැවිනි. අසල සිටි සමහර භික්ෂූහු මේ පිළිතුර දුන්හ:

”මුන්වහන්සේ බොහෝම කැමැතියි ‘කාපෝතිකා’ කියන මද්‍යපාන වර්ගයට … ඒත් ඒවා ලබාගන්න අමාරුයි.”

එය අසාගත් සැදැහැවත්තු බුදුන්වහන්සේ කරා ගොස් මේ ආරාධනය කළහ:

”හෙට උදේ දානයටත්, දවල් දානයටත්, ඒ අතරතුර අප ඇසුරුකරමින් සැරිසරන්නට වඩින්න … භික්ෂූන් සමඟ…”

ඒ ආරාධනයෙන් බුදුසමිඳුන් සමඟ මහාසංඝයා අතර පැමිණෙන සාගත සමිඳුන් පිළිගැනීමට තැනින් තැන නිවෙස්හි ‘කාපෝතිකා’ මද්‍යසාරය සූදානම් කර තැබිණි. සාගත සමිඳාණෝ සැරිසරමින් ඒ ස්ථානයන්හි ම ගැවැසුණහ. දහවල් දානය වේලාවේත් එයින් එක් තැනක ඒ සමිඳුන් ඇතැයි සෙස්සන් සිතන්නට ඇත.

බුදුන් වහන්සේත් මෙම දින වන තෙක් සුරා පානය නොකරන්න ශික්ෂා පදයක් පනවලා නොතිබුණු නිසාත් සාගත ස්ථවීරයන් හැම ගෙදරකින්ම ලැබුණු කපෝතිකා මද්‍යසාරය පානය කර හොඳටම මත්වී කෙලින් හිටගන්නත් නොහැකිව නගර දොරටුව අසළ තියෙන කුණු ගොඩකට වැටී විකාර දොඩවමින් සිටියහ.

දහවල් දානයෙන් පසු බුදුන්වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන නගරයෙන් පිටතට වඩින සේක්, සාගත ස්ථවිරයන් නගර දොරටුවෙන් පිටත වැතිරී දොඩවමින් සිටිනු දුටුසේක. බුදුසමිඳුන් අනුමැතියෙන් භික්ෂූහු සාගත තෙරණුවන් ඔසවාගෙන ආහ. ආරාමයේ බිම සැතැප්පවූයේ හිස සම්බුදු සිරිපතුල් දෙසට යොමු කොටය. එහෙත්, සාගත සමිඳු දඟලමින් පෙරළී නැවැතුණේ සම්බුදු සිරිපතුල් දෙසට දෙපා දිගු කොටගෙන ය. එය දුටු භික්ෂූහු මවිතයට පත්වූහ. බුදුන්වහන්සේ කෙරෙහි තද ගෞරවයක් දක්වන්නකු වූ සාගත සමිඳුන් මෙවෙලේ මෙසේ හැසිරීම ගැන ය.

බුදුන්වහන්සේ හා භික්ෂූන් අතර මෙවැනි සංවාදයක් ඇතිවිය

බුදුන් වහන්සේ :- මහණෙනි, මීට කලින් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කළා නේද ?

හාමුදුරුවරු :- එහෙමයි ස්වාමීනි, මේ සාගත හාමුදුරුවෝ ඔබවහන්සේට ගෞරව සත්කාර කළා පමණක් නෙමෙයි ඔබවහන්සේට උපස්ථානත් කළා

බුදුන් වහන්සේ :- මහණෙනි, දැන් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කරනවාද ?

හාමුදුරුවරු :- ස්වාමීනි, සාගත හාමුදුරුවෝ මීට කලින් ඔබවහන්සේට ගෞරව සත්කාර කළාට දැන් එහෙම කරන්නේ නැහැ. දැන් මේ සාගත හාමුදුරුවෝ නිදාගෙන ඉන්නෙත් ඔබවහන්සේ දිහාවට කකුල් දිගු කරගෙන

බුදුන් වහන්සේ :- මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ අම්බතීර්ථයේ නාගරාජයා දමනය කළා නේද ?

හාමුදුරුවරු :- එහෙමයි ස්වාමීනි

බුදුන් වහන්සේ :- මහණනි, සැවැත්නුවර අම්බතීර්ථය ප්‍රදේශයේ දී ඒ මහානාගයා දමනය කළ මේ සාගත භික්ෂුව දැන් සිටින්නේ දියබරියකු දමනය කරන්නටවත් පුළුවන් තත්ත්වයක ද?”

හාමුදුරුවරු :- ස්වාමීනී, මොන දමනය කිරීමක්ද ? වැටිලා ඉන්න හැටි දැක්කාමත් දුකයි

බුදුන් වහන්සේ :- මහණෙනි, යමක් පානය කළාම පියවි සිහිය නැතිවී යනවා නම් විකාරයට පැමිණෙනවා නම් එය පානය කළ යුතුද ?

හාමුදුරුවරු :- ස්වාමීනී, ඒ වගේ දේවල් පානය කළ යුතු නැහැ

බුදුන් වහන්සේ :- මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ කරපු දෙය ඔහුට ගැලපෙන්නේත් නැහැ කැප වන්නේත් නැහැ. එය නොකළ යුත්තක්. මේ සාගත හාමුදුරුවෝ කිසිම ලැජ්ජාවක් බයක් නැතිව මත්පැන් පානය කලා. ඒක නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි දියුණුවටවත් හේතු වෙන්නේ නැහැ.

මහණෙනි, ඒ නිසා අද පටන් භික්ෂූන් මත්පැන් පානය නොකළ යුතුයි. යම් භික්ෂුවක් මත්පැන් පානය කරනවා නම් පචිති වේය.

බුදුන් වහන්සේ මද්‍යපාන තහනම භික්ෂු විනයට එවෙලේ එක්කළ සේක. මත්පැන් පානයෙන් භික්ෂූනට ‘පචිත්තියාපත්ති” හෙවත් “පචිති ඇවත” සිදුවන බව සඳහන් කිරීමෙනි.

පහුවෙනිදා උදේ සුපුරුදු තත්වයට පත්වීමෙන් පසුව තමන් කලින් දවසේ හැසිරුණු හැටි අසා ලැජ්ජාවට පත්වුණු සාගත තෙරණුවෝ බුදුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව සමාව ඉල්ලීය. පසුව අප්‍රමාදීව භාවනා කටයුතුවල යෙදුණු සාගත තෙරණුවෝ අවසානයේදී රහත් බවට පත්විය .

සාගත මහරහතන් වහන්සේ තේජෝ ධාතුවට සමවදින්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.