Posted on

ත්‍රිපිටකය යනු කුමක්ද?

ත්‍රිපිටකය යනු කුමක්ද

බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ ධර්මය ත්‍රිපිටකය තුළ අන්තර්ගත වේ. ත්‍රිපිටකය යනු සූත්‍ර , විනය, අභිධර්ම යන ධර්ම කොටස් එකතු කොට සකස් කළ බෞද්ධයාගේ මුදුන් මල්කඩ නම්වූ ග්‍රන්ථයයි.

විනය පිටකය…..

විනය පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූ සහ භික්ෂුණී සංඝයා වෙත දේශනා කරන ලද සංවර ශීල දේශනා යි. එම දේශනා ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, පාරාජිකා පාළි, පාචිත්ති පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි සහ පරිවාර පාළි යනාදිය යි.

සූත්‍ර පිටකය….

සූත්‍ර පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය යි. සුත්‍ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එය ප්‍රධාන කොටස් (නිකාය) පහකින් සමන්විතය. ඒවා නම්, දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය යනාදිය යි.

Continue reading ත්‍රිපිටකය යනු කුමක්ද?

Posted on

රාග සිතින් පීඩා විදි භික්ෂුව

රාග සිතින් පීඩා විදි භික්ෂුව

දීර්ඝ කාලයක් මුළුල්ලේ එක් හිමිනමක් රාගයෙන් පීඩා විඳිනවා. උන්හන්සේ දීර්ඝ කාලයක්ම මනැස සන්සුන් කරන්නට උත්සාහ කළා. සිතේ කිසිම සන්සුන් බවක් ඇතිවුණේ නැහැ. එක් දිනක් උන්වහන්සේ කල්පනා කරනවා මෙහෙම මහණකම් කරලා මොකටද? රාග සිතකින් පීඩා විඳ විඳ මහණකම් කරන්නේ නැතුව එක්කෝ මම සිවුරු හැර යන්න ඕන. නැත්නම් ජීවිතය නැතිකර ගන්න ඕන. සිවුරු හැර යනවාට වඩා හොඳයි මහණ ජීවිතයේදීම ජීවිතය නැතිකර ගන්න එක. නමුත් ඉන් පස්සේත් නැවත ඉපදීමක් උරුමයි. නැවත සුගතියක උපදින්නනම් කුසල් අරමුණක් සිහිකර ගන්න ඕන. මට මොකක්ද සිහිකර ගන්න තිබෙන කුසලය කියලා තමාගේ ජීවිතය පිළිබඳව ආවර්ජනා කර බලද්දී දැනුනා මොනතරම් රාග සිතින් තමන් පීඩා වින්ඳත් තමා සමාදන් වූ සිල් බිඳී නැහැ. මනැස ව්‍යාකූලයි තමයි. නමුත් ශික්ෂාපද ආරක්ෂා වෙලා. කයින් වචනයෙන් ඒවා ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා උන්වහන්සේට ලොකු සතුටක් දැනුනා තමාගේ සීලය ගැන. ඒ සීලය ගැන ඇති වූ සතුටත් එක්ක උන්වහන්සේ කල්පනා කරනවා එහෙනම් තව එක පාරක් මම උත්සාහ කර බලන්න ඕන මේ රාග සිත දුරු කරන්න කියලා උන්වහන්සේ සොහොන් පිටියකට ගිහිල්ලා හැබෑම මළකඳක් දෙස බලාගෙන අසුභ සංඥාව වඩන්න තීරණය කළා.

දිනක් මිනී අතහැර දැමු සොහොනකට ගියා. සොහොනේ තැන තැන මිනි දාලා සත්තු කාලා ඇටකටුද, මස් වැදිලිද, හිස් කබල්ද තැන තැන. වැස්ස වැහැලා ඒවා පොඟලා මුළු පරිසරයම දුඟදයි. මේ හිමියන් ඒ දුඟද පරිසරය දරාගෙන ටික ටික සොහොනේ මැදට ගියා. මැදට ගියාම උන්වහන්සේ දැක්කා එක මළකඳක් ඉදිමිලා කුණුවෙලා තනිකරම මළමිනිය වැහෙන්න පණුවෝ උතුරනවා. ස්ත්‍රියක්ද, පුරුෂයෙක්ද කියා සොයාගන්න බැරි තරමට වෙනස් වෙලා. උන්වහන්සේ කල්පනා කළා මෙම මළකඳ හොඳයි මට අසුභය වඩන්න කියා එතැනට වෙලා මේ කයත් මගේ කය වගේ තිබුණ එකක්. මේක අද කුණුවෙලා තිබෙන්නේ. මගේ කයත් යම් දිනෙක මේ ලෙසම කුණුවෙනවා නේද? කියා සංසන්දනය කරමින් අසුභ සංඥාව වඩමින් ඉන්නවිට එකපාරමට දැක්කා දිගැටි කෙස් රොදක් තිබෙනවා. දිගැටි කෙස් රොදක් තිබෙන්නේ ස්ත්‍රියකට. හඳුනාගත්තා මේ ස්ත්‍රියකගේ මළකඳක් කියලා. ස්ත්‍රිය කියන සංඥාව ඇතිවෙනවිටම උන්වහන්සේට රාග සිත මතුවුණා. දැන් ඔක්කාරයත් නැහැ. දුගඳත් නැහැ. පිළිකුලක් දැනෙන්නේ නැහැ.

සුභ සංඥාව මතුවුණා. ඒ සමඟම උන්වහන්සේ වික්ෂිප්ත වුණා. ඒ වික්ෂිප්තභාවයක් සමඟම ළඟ තිබු ගහක් ළඟ වාඩි වුණා. වාඩිවෙලා අසුභය වඩන එක පැත්තකින් තියලා මට මේ මොකද වුණේ. මට කොහොමද රාග සිතක් ඇතිවුණේ. මේ ඉතාම දුර්ගන්ද පණුුවෝ රැඳුණු මේ මළකඳ ගැන සිහිබුද්ධිය තිබෙන කෙනෙකුට රාගය ඇතිවන්න පුළුවන්ද? මට කොහොමද රාගය මතුවුනේ කියලා සෙවුවා. මෙතෙක් කල් රාග සිත දුරු කරන්නට අසුභය වැඩූ එක. අද කළේ අසුභය වඩන්නේ නැතිව රාග සිත ඇතිවුණේ කොහොමද කියා සෙවීමයි. මළකඳ ගැන නොවේ රාග සිත ඇතිවුණේ. මළකඳේ දුටු කෙස් රොදෙන් ස්ත්‍රි සංඥාව එනකොටම මනසින් මැවුනා උන්වහන්සේ කැමැති ස්ත්‍රි සංඥාව. ඒ ස්ත්‍රි සංඥාව සමඟයි රාගය මතුවුණේ. ඒක නැවත නැවත ආස්වාදයන කරන විට රාගය උස්සන්න වෙනවා. මෙහෙම කල්පනා කරන විට දැනුනා මේ රාග සිත මොනතරම් අපිව මුලා කරනවාද කියලා. ඒ රාග සිත නැති දේ ඇතිකරලා පෙන්වනවා. ඇති දේ නැති කරනවා. මේ මළකඳ කුණුගඳ, අප්‍රසන්නභාවය සියල්ලම යට කළා. නැති ප්‍රසාදයක් සිතින් මතුකළා. මේ ආකාරයට නේද මනසේ ගොඩනැඟෙන යම්කිසි සංඥාවක්, විපල්ලාසයක්, චිත්ත විපල්යාසයක්, දිට්ඨි විපල්යාසයක් (විපල්යාසයක් කියන්නේ විකෘතිවීමක්) ඇති කරගන්නවා. ඒ විකෘති විපල්යාසයක් විසින් මවනවා යම්කිසි අවස්ථාවක්. එයින් මනෝභාවය ක්‍රියාත්මක වෙනවා. ඒ සමඟම වැටහෙන්න ගත්තා මේ සරාගි චින්තනය ගොඩ නැඟුනාට පස්සේ අපේ මනැස කොතරම් අඳුරු වෙනවාද? කෙතරම් මුලා වෙනවාද? අනන්ත සසරේත් මට වැරුදුනේ මෙතැන නේද? ලෝකයේ තිබෙන දේට නොවේ මගේ මනැස මවාදෙන දේටයි මම රැවටුනේ කියලා දකිනවිට රාගය ඇතිවෙන්නේ කොහොමද? රාගය දුරු වෙන්නේ කොහොමද? ඒකේ මූලය මොකක්ද? මේ හැම දෙයක්ම නිවැරැදිව දකිනවා. මේකට තමා පජානාති කියන්නේ. (පජානාති – හේතුව ඵලය වශයෙන් මූලය වශයෙන් ඇතිවීම නැතිවීම හරියටම දකීම) උන්වහන්සේ හරියටම රාගයේ ස්වභාවය දකිනවිටම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වුනා.

Posted on

මත්පැන් වැළදූ සාගත හිමි

මත්පැන් වැළදූ සාගත හිමි

බුදුන් වහන්සේ කොසඹෑ නුවර වැඩ සිටිය සේක්, භික්ෂූන් ද සමඟ සැවැත්නුවර වස් විසීමට වැඩිය සේක. වස්වසන අතර ප්‍රාදේශීය නිරීක්ෂණ චාරිකාවන්හි යෙදෙන සේක. භික්ෂූන් සමඟය. එක් දිනෙක එසේ “භද්දකච්චානා” නම් නියම්ගම ඔස්සේ වඩිමින් සිටිය සේක්, ඒ ගමන අනතුරුදායක ය යි කියා සිටීමට ඒ පෙදෙසේ ගොවියෝ, ගවපාලකයෝ ආදීහු දිව ආහ.

”ස්වාමීනි, මහාභයානක නාගරාජයෙක් අම්බතීර්ථය ප්‍රදේශයේ අර පෙනෙන ජටාධර තාපසාරාමයේ ඉන්නවා…ඔබවහන්සේලාට බේරිලා යන්න පුළුවන් වෙන්නේ නැහැ…”

දෙවන වරටත්, තුන්වන වරටත් කෙරුණු ඒ අනතුරු ඇඟවීම නොතකා ඉදිරියට ම වඩිනා කල්හි අම්බතීර්ථ තාපසාරාමයේ විෂඝෝර නාගරාජයා දෂ්ට කිරීමට දිවආවේය. ඒ මහා නාගයා අධිෂ්ඨාන බලයෙන් දමනය කිරීමට හෙවත් අවනත කරගැනීමට භික්ෂුනමක් සමත් වූයේ ය. “සාගත” නම් භික්ෂුුනම ය. ඒ සිද්ධියත් භික්ෂූන් වහන්සේත් පිළිබඳ කීර්තිය මුළු දඹදිව පුරා පැතිරගියේය.

සැවැත්නුවර වස් කාලය අවසන් ව, කොසඹෑ නුවරට වඩින බුදුසමිඳුන් හා භික්ෂූන් පිළිගැනිමට සැදැහැවත්තු පෙරමඟට ආහ. බුදුන්වහන්සේට පමණක් දෙවැනි ව ඔවුන්ගේ අවධානයට යොමු වුණ සේක් සාගත ස්වාමීන් වහන්සේ ය. පැතිර පැවැති නාගදමන කීර්තිය නිසා ය. සාගත සමිඳුන් වෙත පැමිණි ඔවුහු මෙසේ ඇසූහ:

”වළඳන්නට හොඳට ම කැමැති දෙයක් ඔබවහන්සේට ලබාගන්නට අමාරු වෙලා තියෙනවා ද? ඒවා ලබාදෙන්න අපට කියන්න!”

සාගත ස්ථවරයාණෝ නිහඬව සිටියහ. කැමැති දේ ඉල්ලා ලබාගැනීම භික්ෂු සිරිතක් නොවන බැවිනි. අසල සිටි සමහර භික්ෂූහු මේ පිළිතුර දුන්හ:

”මුන්වහන්සේ බොහෝම කැමැතියි ‘කාපෝතිකා’ කියන මද්‍යපාන වර්ගයට … ඒත් ඒවා ලබාගන්න අමාරුයි.”

එය අසාගත් සැදැහැවත්තු බුදුන්වහන්සේ කරා ගොස් මේ ආරාධනය කළහ:

”හෙට උදේ දානයටත්, දවල් දානයටත්, ඒ අතරතුර අප ඇසුරුකරමින් සැරිසරන්නට වඩින්න … භික්ෂූන් සමඟ…”

ඒ ආරාධනයෙන් බුදුසමිඳුන් සමඟ මහාසංඝයා අතර පැමිණෙන සාගත සමිඳුන් පිළිගැනීමට තැනින් තැන නිවෙස්හි ‘කාපෝතිකා’ මද්‍යසාරය සූදානම් කර තැබිණි. සාගත සමිඳාණෝ සැරිසරමින් ඒ ස්ථානයන්හි ම ගැවැසුණහ. දහවල් දානය වේලාවේත් එයින් එක් තැනක ඒ සමිඳුන් ඇතැයි සෙස්සන් සිතන්නට ඇත.

බුදුන් වහන්සේත් මෙම දින වන තෙක් සුරා පානය නොකරන්න ශික්ෂා පදයක් පනවලා නොතිබුණු නිසාත් සාගත ස්ථවීරයන් හැම ගෙදරකින්ම ලැබුණු කපෝතිකා මද්‍යසාරය පානය කර හොඳටම මත්වී කෙලින් හිටගන්නත් නොහැකිව නගර දොරටුව අසළ තියෙන කුණු ගොඩකට වැටී විකාර දොඩවමින් සිටියහ.

දහවල් දානයෙන් පසු බුදුන්වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන නගරයෙන් පිටතට වඩින සේක්, සාගත ස්ථවිරයන් නගර දොරටුවෙන් පිටත වැතිරී දොඩවමින් සිටිනු දුටුසේක. බුදුසමිඳුන් අනුමැතියෙන් භික්ෂූහු සාගත තෙරණුවන් ඔසවාගෙන ආහ. ආරාමයේ බිම සැතැප්පවූයේ හිස සම්බුදු සිරිපතුල් දෙසට යොමු කොටය. එහෙත්, සාගත සමිඳු දඟලමින් පෙරළී නැවැතුණේ සම්බුදු සිරිපතුල් දෙසට දෙපා දිගු කොටගෙන ය. එය දුටු භික්ෂූහු මවිතයට පත්වූහ. බුදුන්වහන්සේ කෙරෙහි තද ගෞරවයක් දක්වන්නකු වූ සාගත සමිඳුන් මෙවෙලේ මෙසේ හැසිරීම ගැන ය.

බුදුන්වහන්සේ හා භික්ෂූන් අතර මෙවැනි සංවාදයක් ඇතිවිය

බුදුන් වහන්සේ :- මහණෙනි, මීට කලින් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කළා නේද ?

හාමුදුරුවරු :- එහෙමයි ස්වාමීනි, මේ සාගත හාමුදුරුවෝ ඔබවහන්සේට ගෞරව සත්කාර කළා පමණක් නෙමෙයි ඔබවහන්සේට උපස්ථානත් කළා

බුදුන් වහන්සේ :- මහණෙනි, දැන් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කරනවාද ?

හාමුදුරුවරු :- ස්වාමීනි, සාගත හාමුදුරුවෝ මීට කලින් ඔබවහන්සේට ගෞරව සත්කාර කළාට දැන් එහෙම කරන්නේ නැහැ. දැන් මේ සාගත හාමුදුරුවෝ නිදාගෙන ඉන්නෙත් ඔබවහන්සේ දිහාවට කකුල් දිගු කරගෙන

බුදුන් වහන්සේ :- මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ අම්බතීර්ථයේ නාගරාජයා දමනය කළා නේද ?

හාමුදුරුවරු :- එහෙමයි ස්වාමීනි

බුදුන් වහන්සේ :- මහණනි, සැවැත්නුවර අම්බතීර්ථය ප්‍රදේශයේ දී ඒ මහානාගයා දමනය කළ මේ සාගත භික්ෂුව දැන් සිටින්නේ දියබරියකු දමනය කරන්නටවත් පුළුවන් තත්ත්වයක ද?”

හාමුදුරුවරු :- ස්වාමීනී, මොන දමනය කිරීමක්ද ? වැටිලා ඉන්න හැටි දැක්කාමත් දුකයි

බුදුන් වහන්සේ :- මහණෙනි, යමක් පානය කළාම පියවි සිහිය නැතිවී යනවා නම් විකාරයට පැමිණෙනවා නම් එය පානය කළ යුතුද ?

හාමුදුරුවරු :- ස්වාමීනී, ඒ වගේ දේවල් පානය කළ යුතු නැහැ

බුදුන් වහන්සේ :- මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ කරපු දෙය ඔහුට ගැලපෙන්නේත් නැහැ කැප වන්නේත් නැහැ. එය නොකළ යුත්තක්. මේ සාගත හාමුදුරුවෝ කිසිම ලැජ්ජාවක් බයක් නැතිව මත්පැන් පානය කලා. ඒක නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි දියුණුවටවත් හේතු වෙන්නේ නැහැ.

මහණෙනි, ඒ නිසා අද පටන් භික්ෂූන් මත්පැන් පානය නොකළ යුතුයි. යම් භික්ෂුවක් මත්පැන් පානය කරනවා නම් පචිති වේය.

බුදුන් වහන්සේ මද්‍යපාන තහනම භික්ෂු විනයට එවෙලේ එක්කළ සේක. මත්පැන් පානයෙන් භික්ෂූනට ‘පචිත්තියාපත්ති” හෙවත් “පචිති ඇවත” සිදුවන බව සඳහන් කිරීමෙනි.

පහුවෙනිදා උදේ සුපුරුදු තත්වයට පත්වීමෙන් පසුව තමන් කලින් දවසේ හැසිරුණු හැටි අසා ලැජ්ජාවට පත්වුණු සාගත තෙරණුවෝ බුදුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව සමාව ඉල්ලීය. පසුව අප්‍රමාදීව භාවනා කටයුතුවල යෙදුණු සාගත තෙරණුවෝ අවසානයේදී රහත් බවට පත්විය .

සාගත මහරහතන් වහන්සේ තේජෝ ධාතුවට සමවදින්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

Posted on

කල්ප තිහක්‌ විපාක දෙන කඨින පිංකම්

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින අවස්‌ථාවේ වුවද ඒ පිළිබඳව සිත යොමු කරවන්නකි.

කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇති උත්තරීතර වචනයකි. එතරම් ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය වන්නට හේතුකාරණාවක්‌ ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨින චීවරයක්‌ පූජා කිරීමට හැකි වන්නේ එක්‌ විහාරස්‌ථානයක වර්ෂයකට එක්‌ වතාවක්‌ පමණි. ඒ නිසා මෙහි සුවිශේෂත්වයක්‌ ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක්‌ ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්‌ථිරසාර බව, නොසැලෙන බව, සෘජු බව, කම්පා නොවන බව, තියුණු බව ආදිය දැක්‌විය හැකිය. අනෙක්‌ කුසලයන්ට වඩා කඨින චීවර පූජාමය කුසලය ප්‍රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා පිංකම්වල පළමු පිංකම වන්නේ මේ කඨින චීවර පූජාවයි.

පංචානන්තරිය පාප කර්ම හැර වෙනත් සෙසු අකුශල කර්ම ප්‍රබල කුසලකර්ම වලින් වැසිය හැකිය “කුසලෙන පිථියති” යන්නෙන් දැක්‌වෙන්නේ එයයි. කඨින පිංකම වැනි ප්‍රබල කුසලකර්ම සිදුකර ගැනීමෙන් තමා කළ සෙසු අකුශල කර්ම පවා වෙනස්‌ විය හැකිය. කඨිනය යන්නට ගොරෝසු යන අර්ථය දක්‌වා ඇත්තේ ඉන්දියාවේ ශීත කාලගුණික තත්ත්වයට වස්‌ත්‍ර සකස්‌ කරගත යුතු බැවිනි. ගොරෝසු වස්‌ත්‍ර නොමැති වුවවොත් අධික ශීතල නිසා රෝගී විය හැකිය. “සීතස්‌ත පටිඝාතාය” යන්නෙන් දැක්‌වෙන්නේ සීතලට ඔරොත්තු දීම සඳහාය.

වස්‌කාලය යනු වැසි කාලයයි. එදා ඉන්දියාවේ වැසි කාලයේදී අනෙක්‌ ආගමික පිරිස්‌ එක්‌ තැනෙකට වී ඔවුන්ගේ ආගමික කටයුතු කළහ. භික්‍ෂූන් වහන්සේලා සුපුරුදු ලෙස චාරිකාවේ යෙදුනහ. එම අවස්‌ථාවේ අනෙක්‌ ආගමිකයන්ගෙන් විවිධ චෝදනා එල්ලවිය. පක්‍ෂීන් පවා වැසිකාලයේදී කෑම සොයාගෙන එක්‌ තැනෙකට වී හිඳිති. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්නට උගන්වන ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයන් කුඩා සතුන් පාගමින් අලුත් තණ පාගමින් වැසි කාලයේ සැරිසරණ බවයි. එම කාරණාවන් හා තවත් කාරණාවන් හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට වස්‌ කාලයේ එක්‌තැනෙකට වී ආගමික කටයුතු කරන්නැයි අනුදැන වදාළහ. එනම් “අනුජානාමි භික්‌ඛවේ වස්‌සානේ වස්‌සං උපගත්තුං” ‘මහණෙනි වර්ෂා කාලයෙහි වස්‌ වසන්නට නියම කරමි’. යනුවෙන් අවසර දුන්හ. ඒ බුද්ධ නියමයන් අනුව අදට වසර 2500 කට වැඩි කාලයක්‌ ගත වෙලත් උන්වහන්සේගේ අනුශාසනාව ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම කෙතරම් විශ්මයජනකද?

ලෝකයේ වෙහෙර විහාරස්‌ථාන ඇති බෞද්ධ සැදැහැවතුන් සිටින හැම රටකම බොහෝ විට වස්‌ කාලයේ වස්‌ පින්කම් කෙරෙනු ඇත. අවසානයේ කඨින පිංකමද සිදුවේ. දැන් දැන් කඨින පිංකම පිළිබඳව දැඩි උනන්දුවකින් ක්‍රියාකරනු ලක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ කඨින පිංකම සෑම විහාරස්‌ථානයකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගිහි-පැවිදි උභය පාර්ශ්වයම සංවිධානය වෙති. එක්‌ විහාරස්‌ථානයක මූලික වී කඨින පිංකමක්‌ භාරගැනීමද දුෂ්කර කරුණක්‌ වී ඇත. ඒ එතරම්ම පිරිසක්‌ කඨින පිංකම් භාරගත් ලයිස්‌තුවේ සිටීම නිසාය.

කඨින චීවරයක්‌ අනුදැන වදාරන්නට විශේෂ සිදුවීමක්‌ ඇත. එනම් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩවෙසෙන සමයේ පාවා නුවර වැඩවෙසෙන භික්‍ෂූන් වහන්සේලා 30 නමක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. උන්වහන්සේලාගේ බලාපොරොත්තුව වූයේ බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන සැවැත්නුවර ඡේතවනාරාමයේ වස්‌ කාලය ගතකිරීම සඳහාය. එහෙත් උන්වහන්සේලාට නියමිත දිනට සැවැත් නුවරට ළඟාවීමට නොහැකි වූහ. ඒ නිසා සාකේත නම් නුවර වස්‌ කාලය ගත කළහ. උන්වහන්සේලා එම වස්‌ කාලය ගතකළේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නොලැබීමේ කනස්‌සල්ලෙනි. වස්‌ තුන් මාසය අවසන් වූ විට එම ස්‌වාමීන් වහන්සේලා යළිත් වරක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. අතර මගදී මහ වැසි පතිත වීම නිසා ගොහොරු මඩ සහිත බිමෙහි වැසි ජලයෙන් තෙත්වූ වස්‌ත්‍ර වලින් යුතුව ඡේතවනාරාමයට වැඩම කළහ.

එම භික්‍ෂූන් වහන්සේලා බුදුහිමි වැඳ පිළිසඳර කතාවෙහි යෙදුනහ. වස්‌ කාලය කරදරයක්‌ නැතිව ගත කළාද? සමගියෙන් විවාද නැතිව සතුටින් ගත කළා දැයි බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන් විචාලසේක. එහිදී භික්‍ෂූන් වහන්සේලා සඳහන් කළේ ස්‌වාමීනි අප සමගියෙන් විවාද නැතිව සතුටින් වස්‌කාලය ගතකළ බවයි. එහෙත් අප සැවැත්නුවරට වැඩම කරන විට මහ වැසි ඇදහැලීම නිසා අතරමග මඩෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත්වූ බවත් තෙත් වූ සිවුරුවලින් යුතුව පැමිණි බවත් දැන්වූහ. එවිට මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ඒ ගැන සිතා තවත් සිවුරක්‌ තිබුණා නම් මේ ආකාරයේ දුෂ්කරතාවයකට පත් නොවන බව සලකා වස්‌ වැසූ භික්‍ෂූන්ට කඨින චීවරයක්‌ ලබාගන්නට අවසර දුන්හ.

කඨිනයෙහි බලසම්පන්න භාවය පහත ගාථාවෙන් දැක්‌වේ.

පඨවිරිව න ජාතුකම්පතේ – න චලති මේරුරිවාතිවායුනා
වජිරම්ව න භිඡ්ජතේ ඝනං – තමිධමතෝ කඨිනන්ති වුච්චති

එනම් මහ පොළොව සේ ස්‌ථිර වූ කුසලකර්මයකි. එම කුසලය මහාමේරු පර්වතය සුළඟින් නොසෙල්වෙන සේ නොසැලෙන පිංකමකි. එසේම වජ්‍ර පර්වතය සේ බිඳිය නොහැකි වූ කුසලයකි.

දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් කැමති චීවරයක්‌ කඨිනය සඳහා පූජා කළ හැකිය. මසා නිමකළ චීවරයක්‌ මෙන්ම චීවරයක්‌ වශයෙන් සකස්‌ නොකළ චීවරයකට ප්‍රමාණවත් වස්‌ත්‍රයක්‌ (දුස්‌සං) වශයෙන් පූජාකළ හැකිය.

අටමහා කුසලයන් වන්නේ

කඨිනට්‌ඨ පරිඛාරං – වාසදානං ච උත්මං
බුද්ධප්පමුඛ සංඝස්‌ස – දානං ධම්මස්‌ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්‌ස – පටිමාකරණම්පි ච
කරණං වච්චකුටියා – අට්‌ඨ පුඤ්නි වුච්චරේ

එනම් –

1. කඨින පූජාව
2. අටපිරිකර පූජාව
3. උතුම් ආවාස කරවා පූජා කිරීම
4. බුදුපාමොක්‌ මහ සඟනට දන්දීම
5. දහම් පොත්පත් ලියවීම
6. කෙත්වතු පූජා කිරීම
7. බුද්ධ ප්‍රථිමා කරවීම
8. වැසිකිළි කැසිකිළි කරවීම – දැක්‌විය හැකිය.

මෙහි පළමු පිංකම වන්නේ කඨින පිංකමයි. ඒ අනුව එහි ප්‍රබල බව සිතාගත හැකිය. කඨින චීවර පූජාව සමගින් අතිරේක පිරිකර පූජා කිරීමද සිදුවේ. ඒ සඳහා කැමති කෙනෙකුට ඉඳිකටුවේ සිට විහාරස්‌ථානයට අවශ්‍ය කරන පුද පිරිකර පූජා කළ හැකිය.

කඨින පිංකම පිළිබඳ සඳහන් කරනවිට නාගිත මහරහතන් වහන්සේගේ නම අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. බුදුරජාණන් වහන්සේ එක්‌තරා අවස්‌ථාවකදී ඒහි භිCඛු භාවයෙන් පැවිදි වූ මහරහතන් වහන්සේලා 500 නමක්‌ අනෝතත්ත විල්තෙරට එක්‌රැස්‌ වන්නැයි සිහිපත් කළහ. එම මහරහතන් වහන්සේලා අතර පෙර බුදු-පසේබුදු මහරහතන් වහන්සේලාට කළ කුශල කර්මයක්‌ ඇත්දැයි ඇසූහ. එහිදී නාගිත මහරහතන් වහන්සේ පෙර ජාතිවලදී කළ කඨින පිංකම්වල හා අනෙකුත් පින්කම් ගැන විස්‌තරයක්‌ කළහ. ඒ අනුව,

“කඨින දානං දත්වාන – සංඝේ ගුණ වරුත්තමේ
ඉතෝ තිංසේ මහා කප්පේ – නාභිජානාමි දුග්ගතිං”

උත්තම ගුණ ඇති මහා සංඝරත්නයට කඨිණ චීවර දානය පූජාකර කල්ප තිහක් දුගතියෙන් තොරවූ බව හා තවත් ආනිසංශ ගෙනහැර දැක්‌වීය.

මෙසේ බලන විට නිවන් දකින ආත්ම භාවය දක්‌වාම විශිෂ්ට වූ මනුෂ්‍ය සම්පත් ලැබීම සඳහා කඨින පිංකම හේතුවේ. කිසිදු අඩුවක්‌ නොමැති ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක්‌ සඳහා මෙන්ම දිව්‍ය ආත්මභාව ලැබීමටද කඨින පිංකම් බලපානු ඇත. එපමණක්‌ නොව සදාකාලික සැපත, උතුම් නිර්වාණ සම්පත්තිය උදාකර ගැනීමට මේ උතුම් කඨින පිංකමේ බලය හා ශක්‌තිය ද හේතුවේ.

Posted on

දන් දිමට ඇති බාධක සතර

දන් දිය හැකි විමට දිමෙි පුරැද්ද තිබිය යුතුය.නුපුරැද්ද දානයට එක් බාදකයෙකි.දාන වස්තුවන් තිබියදී ප්‍රතිගාහකයන් සිටියදි යාචකයන් ඉල්ලද්දි දිමට සිත නොනැමෙන්නෙ පුරැද්ද මද ව්මෙනි

එකල්හි මහ බොසතුන් සිතන්නේ මාගෙ සිත දානයට නොනැමෙන්නෙ පුරැද්ද මද බව නිසාය.මාගෙ වස්තුව ලබන්නට ද ප්‍රථමයෙන් මා විසින් දිමට නියමකර ගන්නා ලද්දේ ය.දැන් මා විසින් පුරුද්ද ඇති කරගනු පිනිස දන් දිමට පටන්ගත යුතුය යි සිතා පලමුවන දාන බාදකය දුරැ කර ගනිති.

දාන වස්තුන් මද බව හෙවත් දිළිඳු කම දාන පාරමිතාවට ඇත්තාවු එක් මහත් බාධකයෙකි.දිමට වස්තුව මද කල්හි මහ බෝසත්හු දැන් මා දිලිඳුව සිටින්නේ පෙර නොදුන් නිසා ය.මා විසින් දැන් ඇති සැටියට ස්වල්ප වශයෙන් හෝ දිම කළ යුතු යි සිතා ඇති සැටියට දන් දෙන්නට පටන් ගැනිමෙන් දෙවන දාන බාධකය දුරැ කර ගනිති.

සිය ගනන් දහස් ගනන් වස්තුන් ඉල්ලන කල්හි එතෙක් දිමට සිත නමා ගැනීම පහසු නොවෙි.දහස් ගණන් ලක්ෂ ගණන් වට්නා දේවල් ඉල්ලන කල්හි ඒවා දිමට සිත නමා ගැනීම දුෂ්කරය.ඉල්ලන දේවල් වැඩිවිම.දාන වස්තුවල වටිනාකම වැඩිවිම.දාන වස්තුන් උසස් දේවල් දිමට එක් බාධකයෙකි.එබදු අවස්ථාවලි මහ බෝසත්හු මා විසින් පතන දෙය වු ලොවුතුරා බුදු බව සියල්ලටම උසස් දෙයකි.වටිනාකම පමණ කල නොහැක.බොහෝ වස්තුන් නොදි.උසස් වස්තුන් නොදි ලොවුතුරා බුදු බව නැමති උසස් දෙය නොලැබීය හැකි ය. මා විසින් ඒ උසස් දෙය ලැබිම සදහා බොහෝ වස්තුන් දිය යුතුය.වටිනා වස්තුන් දිය යුතුය.උසස් වස්තුන් දිය යුතුය යි සිතා තුන් වන දාන බාදකය දුරැ කර ගනිති.

නිතර දන්දිම කරගෙන යන්නහුගෙ වස්තුව ක්‍රමයෙන් හීන වන්නේය.නොනවත්වා දිගෙන යන දායකයා ක්‍රමයෙන් දිළිදු වෙ.දිළිදු බව මහ දුකකි එබැවින් වස්තු හිනත්වය ගැන සිහිවිම එක් දාන බාධකයෙකි.දිමෙන් වස්තුව හින වි දිළිදු වු මහ බෝසත්හු වස්තුවෙ අනිත්‍යතාවය හා පෙර දන් දුන්නා මද බැවින් දිළිදු වන බවද සිතා එ බාදකය දුරැ කර ගෙන ඇති සැටියෙන් දන් දිම කරති

රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පාරමිතා ප්‍රකරණය පොත ඇසුරිනි.

තෙරුවන් සරණයි.සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා