Posted on

රාග සිතින් පීඩා විදි භික්ෂුව

රාග සිතින් පීඩා විදි භික්ෂුව

දීර්ඝ කාලයක් මුළුල්ලේ එක් හිමිනමක් රාගයෙන් පීඩා විඳිනවා. උන්හන්සේ දීර්ඝ කාලයක්ම මනැස සන්සුන් කරන්නට උත්සාහ කළා. සිතේ කිසිම සන්සුන් බවක් ඇතිවුණේ නැහැ. එක් දිනක් උන්වහන්සේ කල්පනා කරනවා මෙහෙම මහණකම් කරලා මොකටද? රාග සිතකින් පීඩා විඳ විඳ මහණකම් කරන්නේ නැතුව එක්කෝ මම සිවුරු හැර යන්න ඕන. නැත්නම් ජීවිතය නැතිකර ගන්න ඕන. සිවුරු හැර යනවාට වඩා හොඳයි මහණ ජීවිතයේදීම ජීවිතය නැතිකර ගන්න එක. නමුත් ඉන් පස්සේත් නැවත ඉපදීමක් උරුමයි. නැවත සුගතියක උපදින්නනම් කුසල් අරමුණක් සිහිකර ගන්න ඕන. මට මොකක්ද සිහිකර ගන්න තිබෙන කුසලය කියලා තමාගේ ජීවිතය පිළිබඳව ආවර්ජනා කර බලද්දී දැනුනා මොනතරම් රාග සිතින් තමන් පීඩා වින්ඳත් තමා සමාදන් වූ සිල් බිඳී නැහැ. මනැස ව්‍යාකූලයි තමයි. නමුත් ශික්ෂාපද ආරක්ෂා වෙලා. කයින් වචනයෙන් ඒවා ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා උන්වහන්සේට ලොකු සතුටක් දැනුනා තමාගේ සීලය ගැන. ඒ සීලය ගැන ඇති වූ සතුටත් එක්ක උන්වහන්සේ කල්පනා කරනවා එහෙනම් තව එක පාරක් මම උත්සාහ කර බලන්න ඕන මේ රාග සිත දුරු කරන්න කියලා උන්වහන්සේ සොහොන් පිටියකට ගිහිල්ලා හැබෑම මළකඳක් දෙස බලාගෙන අසුභ සංඥාව වඩන්න තීරණය කළා.

දිනක් මිනී අතහැර දැමු සොහොනකට ගියා. සොහොනේ තැන තැන මිනි දාලා සත්තු කාලා ඇටකටුද, මස් වැදිලිද, හිස් කබල්ද තැන තැන. වැස්ස වැහැලා ඒවා පොඟලා මුළු පරිසරයම දුඟදයි. මේ හිමියන් ඒ දුඟද පරිසරය දරාගෙන ටික ටික සොහොනේ මැදට ගියා. මැදට ගියාම උන්වහන්සේ දැක්කා එක මළකඳක් ඉදිමිලා කුණුවෙලා තනිකරම මළමිනිය වැහෙන්න පණුවෝ උතුරනවා. ස්ත්‍රියක්ද, පුරුෂයෙක්ද කියා සොයාගන්න බැරි තරමට වෙනස් වෙලා. උන්වහන්සේ කල්පනා කළා මෙම මළකඳ හොඳයි මට අසුභය වඩන්න කියා එතැනට වෙලා මේ කයත් මගේ කය වගේ තිබුණ එකක්. මේක අද කුණුවෙලා තිබෙන්නේ. මගේ කයත් යම් දිනෙක මේ ලෙසම කුණුවෙනවා නේද? කියා සංසන්දනය කරමින් අසුභ සංඥාව වඩමින් ඉන්නවිට එකපාරමට දැක්කා දිගැටි කෙස් රොදක් තිබෙනවා. දිගැටි කෙස් රොදක් තිබෙන්නේ ස්ත්‍රියකට. හඳුනාගත්තා මේ ස්ත්‍රියකගේ මළකඳක් කියලා. ස්ත්‍රිය කියන සංඥාව ඇතිවෙනවිටම උන්වහන්සේට රාග සිත මතුවුණා. දැන් ඔක්කාරයත් නැහැ. දුගඳත් නැහැ. පිළිකුලක් දැනෙන්නේ නැහැ.

සුභ සංඥාව මතුවුණා. ඒ සමඟම උන්වහන්සේ වික්ෂිප්ත වුණා. ඒ වික්ෂිප්තභාවයක් සමඟම ළඟ තිබු ගහක් ළඟ වාඩි වුණා. වාඩිවෙලා අසුභය වඩන එක පැත්තකින් තියලා මට මේ මොකද වුණේ. මට කොහොමද රාග සිතක් ඇතිවුණේ. මේ ඉතාම දුර්ගන්ද පණුුවෝ රැඳුණු මේ මළකඳ ගැන සිහිබුද්ධිය තිබෙන කෙනෙකුට රාගය ඇතිවන්න පුළුවන්ද? මට කොහොමද රාගය මතුවුනේ කියලා සෙවුවා. මෙතෙක් කල් රාග සිත දුරු කරන්නට අසුභය වැඩූ එක. අද කළේ අසුභය වඩන්නේ නැතිව රාග සිත ඇතිවුණේ කොහොමද කියා සෙවීමයි. මළකඳ ගැන නොවේ රාග සිත ඇතිවුණේ. මළකඳේ දුටු කෙස් රොදෙන් ස්ත්‍රි සංඥාව එනකොටම මනසින් මැවුනා උන්වහන්සේ කැමැති ස්ත්‍රි සංඥාව. ඒ ස්ත්‍රි සංඥාව සමඟයි රාගය මතුවුණේ. ඒක නැවත නැවත ආස්වාදයන කරන විට රාගය උස්සන්න වෙනවා. මෙහෙම කල්පනා කරන විට දැනුනා මේ රාග සිත මොනතරම් අපිව මුලා කරනවාද කියලා. ඒ රාග සිත නැති දේ ඇතිකරලා පෙන්වනවා. ඇති දේ නැති කරනවා. මේ මළකඳ කුණුගඳ, අප්‍රසන්නභාවය සියල්ලම යට කළා. නැති ප්‍රසාදයක් සිතින් මතුකළා. මේ ආකාරයට නේද මනසේ ගොඩනැඟෙන යම්කිසි සංඥාවක්, විපල්ලාසයක්, චිත්ත විපල්යාසයක්, දිට්ඨි විපල්යාසයක් (විපල්යාසයක් කියන්නේ විකෘතිවීමක්) ඇති කරගන්නවා. ඒ විකෘති විපල්යාසයක් විසින් මවනවා යම්කිසි අවස්ථාවක්. එයින් මනෝභාවය ක්‍රියාත්මක වෙනවා. ඒ සමඟම වැටහෙන්න ගත්තා මේ සරාගි චින්තනය ගොඩ නැඟුනාට පස්සේ අපේ මනැස කොතරම් අඳුරු වෙනවාද? කෙතරම් මුලා වෙනවාද? අනන්ත සසරේත් මට වැරුදුනේ මෙතැන නේද? ලෝකයේ තිබෙන දේට නොවේ මගේ මනැස මවාදෙන දේටයි මම රැවටුනේ කියලා දකිනවිට රාගය ඇතිවෙන්නේ කොහොමද? රාගය දුරු වෙන්නේ කොහොමද? ඒකේ මූලය මොකක්ද? මේ හැම දෙයක්ම නිවැරැදිව දකිනවා. මේකට තමා පජානාති කියන්නේ. (පජානාති – හේතුව ඵලය වශයෙන් මූලය වශයෙන් ඇතිවීම නැතිවීම හරියටම දකීම) උන්වහන්සේ හරියටම රාගයේ ස්වභාවය දකිනවිටම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*