Posted on

සමාජ අපරාධකරුවන් බිහි වන්නේ කෙසේද?

සමාජ අපරාධකරුවන් බිහි වන්නේ කෙසේද

මනස මිතුරු බවින් නොපිරිනු තැනැත්තියකට දරුවන් ලැබුණ පමණින් “අම්මා” යන උදාර මව් පදවියෙන් ආමන්ත්‍රණය කිරීම හෝ අගය කිරීම සුදුසු නැහැ.අපගේ සංස්කෘතිය විසින් අපට ලබාදී තිබෙන්නාවූ වටිනාකම්ය. මනස ප්‍රඩණ්ඩකාරී බවින් තොරව සැහැල්ලුවෙන් සිත පාලනය කරගැනීමට හැකිවන ආකාරයේ ශක්තියක් මවක විසින් ඇතිකර ගත යුතුයි.

ගේ දොර පිළිවෙළකට තබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමෙන් හෝ බණ භාවනා කිරීමෙන් හෝ වෙනත් කාර්යයක නියැලී හෝ තමාගේ මනස තුළ පවතින කේන්තිය පහව යන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. කේන්තිය තරහව මනස තුළ රැඳීපවතින්නේද,එකම අදහසක් මනස තුළ ඒකාකාරීව පැවතුන හොත් පමණයි.වෙනත් කාර්යයක නියැලීම තුළින් එම සිතිවිලි වෙනස් වූ විට එම කේන්තිය තරහව වෙනස් කර සිත පාලනය කරගත හැකි වෙයි. “මෙත්තා”ව යන උදාර පාරමිතාව නොමැතිකමෙන් වර්තමාන සමාජය තුළ ගැටුම් බහුලව පවතියි. ඇතැමි දෙමවිිපියන් දරුවන්ට සාහසික ආකාරයෙන් කටයුතු කරනු ලබන්නේ මෛත්‍රිය නොමැතිකමයි. ඇතැමි දරුවන්ද දෙමවිපියන්ට සාහසික ආකාරයෙන් කටයුතු කරනු ලබන්නේද, මෛත්‍රිය නොමැති නිසයි. එවැනි තැනැත්තෙක් හෝ එවැනි තැනැත්තියක් දරුවෙකු හදාවඩා මවක හෝ පියෙකු වන්නේ කෙසේද? දරුවෙකු සිටි පමණින් පියෙකු විය හැකිද? දරුවෙකු සිටි පමණින් මවක විය හැකිද?

මෙත්තාව යන පාරමිතාව මානසිකමය තත්වයක් වන අතර කරුණාව මානසිකව මෙන්ම කායික කාරණාවක්ද වෙයි. කරුණාව, දයාව සෙනෙහස දැක්විය යුතුයි.මාතෘත්වය සහිතවූ අම්මා කෙනෙකු නම්, දරුවා කුඩා අවධිය තුළ සිපවැළඳ ගනිමින් දරුවාට සෙනෙහස කරුණාව දැක්වීමෙන් එම මොහොත තුළ දරුවා ලබන්නාවූ කිසියම් වින්දනාත්මක තත්වය තුළ මානසික වර්ධනයක් ඇතිවන අතර දරුවාගේ අනාගත මානසික තත්වය දියුණු වීම තුළ දරුවාගේ අනාගතය යහපත් ආකාරයෙන් නිර්මාණය වීම සඳහාද එය බලපානු ලබයි.කුඩා කල දරුවා මවගේ ඇකයෙහිම සෙනෙහස උණුසුම දක්වමින් හැදුණු වැඩුණු දරුවන් වැඩිහිටි වුවද ඔවුන් සමාජ හිතකාමීන් වන බව සමාජ විද්‍යාඥයන්ගේ පර්යේෂණ තුළින් ඔප්පු වී ඇත. කුඩා කල සිටම මවකගෙ සෙනෙහස අඩුව චණ්ඩ ලෙස, සැඩ පරුෂව, රෞද්‍ර ආකාරයෙන් හැදුණු දරුවන් වැඩිවියට පත්වුවද, ඔවුන් චණ්ඩිකම් කරමින් සමාජ අපරාධකරමින් සමාජ අපචාර කරමින් සිටින මිනීමරුවන් තත්ත්වයට පත්වෙයි. ලෝකයේ බොහෝ සමාජ විද්‍යාඥයන් කළ පර්යේෂණ තුළින් එවැනි තත්ත්වයන් ඔප්පු වී ඇත.

සොඳුරු ළමා කාලය

දරුණු අපරාධකරුවන්ගේ කුඩා අවධිය විමර්ෂණය කර බැලුවිට ළදරු අවධිය තුළ මව විසින් දමාගිය දරුවෙකු වෙයි. මවකගේ සෙනෙහස උණුසුම නොලබා වෙනත් පුද්ගලයන්ගේ අනුදැනුම මත පීඩනයට හසුවෙමින් හැදුණු දරුවන් වෙයි. වෙනත් දරුවන් සරුංගල් යවමින් ළමා කාලය සුන්දරව ගතකරමින් සතුටු වෙමින් මානසික අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්නා විට එම අවස්ථා ඔවුන්ට නොපැවතුණ බව ප්‍රකාශ කරයි. කුඩා අවධිය තුළ දරු සෙනෙහස දයාව, කරුණාව නොලැබුණ නිසාත්, මවගේ සැඩපරුෂකම නිසා කුඩා අවධිය තුළ මෛත්‍රිය නොලැබුණ දරුවන් වැඩිවියට පත්වූ විට සමාජයට වෛර කිරීමට පටන් ගනී. ස්ත්‍රි දූෂකයන් මිනීමරුවන් වැනි සමාජයට අපරාධකිරීමට පෙළඹෙන පිරිස් පුංචි කාලය තුළ සිට මවගේ පියාගේ දයාව කරුණාව නොලැබුණ පිරිසක් වෙයි.

මෛත්‍රිය, කරුණාව හා දයාව

මවගේ පියාගේ මෛත්‍රිය කරුණාව දයාව නොමැතිව දරුවන් හැදීම වැඩීම විශාල අපරාධයක් වෙයි.එක දරුවෙකු හෝ සමාජයට දායාද කරන ආකාරය නොදන්නවා නම් දරුවන් හදන්නේ කුමක් සඳහාද? තමාගේ තෘප්තිය සඳහා දරුවන් හැදීම කළ යුතුද? නැතහොත් රටට යහපත් දරුවෙකු දායාද කිරීම කළ යුතුද?තමාගේ තෘප්තිය තමාගේ ආශාව සඳහා දරුවන් හැදිය යුතු බව බණ පොත තුළ සඳහන් වන්නේ නැහැ. තමාගේ මනස තුළ මෙත්තා කරුණා, මෛත්‍රිය යන පාරමිතා සමිපුර්ණ වීමත් සමඟ දරුවන් හැදිය යුතුයි. මුදිතාව හෙවත් මෘදු බවයි.සැඩපරුෂ ආකාරයෙන් චණ්ඩ නොමැති විය යුතුයි.දරුවන් සිටින අතැමි ගැහැනුන් දරුවන්ට කතා කරන ආකාරය අනුව සිත කය වචනයේ සංවරයක් නොමැතිව කටයුතු කරයි. එම දරුවන් තුළ පවතින්නේද,ඔවුන්ගේ ජාන හා ඔවුන්ගේ ශක්‍යතාවයි.

උපේක්ෂාව

උපේක්ෂාව හෙවත් මැදහත් බව විස්තර කරන විට නොදියුණු මනස තුළ උපේක්ෂාව තිබෙන පුද්ගලයා සිද්ධි, සිද්ධි ලෙස අධ්‍යයනය කරනු ලබයි. උපේක්ෂාව නොමැති පුද්ගලයා සිද්ධි හැඟීම් ආකාරයට ග්‍රහණය කරගනී. අතැම් දරුවන්ට දොස් පැවරීමේදී තවත් දරුවෙකු සමඟ සංසන්දනය කරමින් දොස් නඟන අවස්ථා නැතිවා නොවෙයි. සංසන්දනය කර දොස් නඟනවා යනු උපේක්ෂාව නොමැතිකමයි. දරුවාගේ අඩුපාඩු පැහැදිළි කර පෙන්වා දිය යුතු වුවද, එය සඳහා වෙනත් දරුවෙකු සම්බන්ධ කර නොගත යුතුයි.දරුවාගේ අඩුපාඩු ස්වාධීනව පහදා දිය යුතුයි. තවත් දරුවෙකු සමඟ සංසන්දනය කරමින් දරුවාගේ අඩුපාඩු පෙන්වා නොදිය යුතුයි. ඇතැම් විට මව අත වැඩිපුර මුදලක් අතමිට මොළවනවා නම්, එම දරුවාට වැඩිපුර සළකන අයහපත් පුරුදු තිබෙන මව්වරුද ඇතැම් විට නැතිවා නොවෙයි. දෙමව්පියන් තුළත් කිසියම් වූ ආකාරයක විනයක් ශික්ෂණයක් සහිතව සිව්බඹ විහරණ ඇතිකර ගත යුතුයි. දෙමව්පියන්ට නොසළකන දරුවන් ඉතා අල්ප ප්‍රමාණයක් සිටින අතර එයටත් දෙමව්පියන්ගේ යම් යම් අඩුපාඩු වැරැදි හේතු නොපවතිනවාම නොවෙයි.සමස්තයක් ලෙස බලන විට දෙමව්පියන්ට නොසළකන දරුවන් සමාජය තුළ නොමැති තරම්ය. දෙමව්පියන්ට නොසැළකීම පිරිහීමේ දොරටුවක් බව බුදුදහම තුළ සඳහන් කාරණාවක් වෙයි. අම්මාට තාත්තාට නොසළකන දරුවෙකු බව දැනගත් විට සමාජමය වශයෙන් ද කතාබහට ලක්වෙයි. දෙමව්පියන්ට නොසැළකීම ඔහුගේ පෞරුෂයේ තිබෙන විශාල දුර්වලකමක් වෙයි. මෙම ප්‍රශ්නය එදත් අදත් සමාජය තුළ පවතී.

සංවරකම

තමන්ගේ සිත කය වචනය සංවර කරගත යුතුයි . ඇතැමි විට බොහෝ ගැටලුවලට කට මුල් වෙයි.යම් වචනයක් ප්‍රකාශ කරන විට සවන් නොදී එය නිවැරැදිව තේරුම් නොගැනීම හෝ එසේ නොවැටහුණ කරුණ පිළිබඳව නැවත අසා විමසා නොලැබීම තුළ බොහෝ ගැටලු මතුවෙයි. යමක් ඇසූ පමණින් තමාගේ සිත තුළ පවතින අදහසත් සමඟ ක්‍රියාත්මක වීම තුළ බොහෝ පුද්ගලයන් වියරු වැටී ඇත.දරුවන් දෙමව්පියන් අතර පවතින මානසික ගැටලු යි. දෙමව්පියන්ට නොසළකන දරුවන් වර්තමාන සමාජය තුළ විරල වන අතර ඇතැමි විට යම් අවස්ථාවක් පැවතුනද, ඒ සඳහාත් යම් යම් හේතු කාරණාවන් පවතී.දරුවන්ගේ ප්‍රශ්න දරුවන් ගේ අදහස් ක්‍රියාත්මක කරන්නේ කෙසේද? කියන කාරණාව දෙමව්පියන් විසින් බුද්ධිමත්ව සිතිය යුතුයි. තමාට නොවැටහෙනවා නම්, එය දැනුම් තේරුම් තිබෙන පුද්ගලයෙකුගෙන් හෝ අසා දැනගත යුතුයි. දරුවන් වුවද, දෙමව්පියන් සම්බන්ධව යම් යම් කටයුතු කිරීමේදී කල්පනාවෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කාරණා කළ යුතුයි.දෙමව්පියන්ගේ සිත රිදවා මනස අවුල් කරමින් දරුවන්ට ජයග්‍රහණය දකින්න අපහසු බව සමාජය තුළ පවතින බොහෝ සිද්ධි තුළින් අවබෝධ වෙයි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සරූ හිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*