Posted on

සංවේදී දරුවෙක් හදමු

සංවේදී දරුවෙක් හදමු

අප්‍රමාණ බලාපොරොත්තු සමඟින් ජීවිතය ජීවත් කරවන්නට ශක්තියත්, ධෛර්යත්, ලැබෙන්නේ තමන්ගේ දරුවන් නිසා බව දාරක ස්නේහයෙන් පිරි හදැති මවුපියවරුන්ගේ හැඟීම ය. සිය කුස නොපිරුණ ද දරුවන්ගේ කුස් හිස් නොකරන්නට, දැන උගතුන් කරන්නට වෙහෙසකර බව නොබලා ඔවුහු දිවා රෑ කාලය වෙන්කරන්නේ ඒ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගන්නටය.

එසේ වුව, අතීතයට සාපේක්ෂව වර්තමානයේ මවුපිය, දූදරු අතර වූ බන්ධනයේ යම් හිඩැසක් , දුරස් බවක් ඇති බව අපි දකිමු. දුකකදී, විපතකදී ළතෙත් නොවන, අකීකරු, කඳුළ වියැළුණ දරුවන් බොහෝ වෙති. එය ඔවුන්ගේ වරදකැයි දොස් කිව නොහැක. ඒ නොදැනුවත්ම හෝ මවුපියන්ගෙන්ම සිදු වූ අඩුපාඩුවක, නොසැලකීමක ප්‍රතිඵලයන් ය. නැණවත්කම මෙන්ම ගුණවත් බවද දරුවන්ට දායාද නොකිරීමේ ඵලයන්ය.

සංවේදී, දුකෙහිදී පිහිටවන, නිරහංකාර, අනතිමානී, අනුන් ගැන සිතන දරුවකු හදාවඩා ගැනීම සඳහා , බුදු සමයේ මෑණියන්ගේ කාර්ය භාරය ඉහළින් වර්ණනා කෙරේ. විශේෂයෙන් මවක් දරු ගැබක් ලත් මොහොතේ සිටම දරුවා වෙනුවෙන් අනුගමනය කළ යුතු කාර්ය භාරයක් ධර්මයෙහි සඳහන් කෙරේ. අතීතයේ ‘ගබ්බ පරිහාර’ යනුවෙන් හැඳින්වූයේ ද මේ කාර්යභාරයම ය. දරු ගැබට දෙමසක් සපිරීමත් සමඟ අම්මා කරන කියන දේ, සිතන පතන දේ කුසහොත් දරුවාට ද දැනෙන බව නූතනයේ සොයාගෙන තිබේ. ඒ අනුව ගැබිනි මව නිරන්තරයෙන්ම කරුණා, මෛත්‍රී සිතින්, සිතේ සතුටින්, මානුසික ගුණ ධර්ම ඇතිව, අතෘප්තියෙන් තොරව කාලය ගෙවීම වැදගත් වේ. එමෙන්ම තරහ ගැනීම්, කෝප වීම්, ඊර්ෂ්‍යා ආදී නුසුදුසු කෙලෙස් මර්දනය කරගත යුතුවේ. මෙසේ අධ්‍යාත්මික වශයෙන් මෙන්ම පරිබාහිරව පරිසරයේ සිදුවන වෙනස්කම් ද කුසහොත් දරුවාට බලපෑම් කරයි. මේ නිසා මවගේ ළඟින් හිඳින, දරුවාගේ පියාණන් ඇතුළු පවුලේ අනෙකුත් සාමාජිකයන්ද ඇයට සිත් වේදනා ඇති නොවන ලෙස, කෝප ගැන්වීම් ඇති නොවන ලෙස, සතුටින් සිටින ලෙස, ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බුදු දහමේ පෙන්වා දී තිබේ. අහිතකර යම් දෙයක බලපෑමක් ලැබුණේ නම් ඒ දරුවා මෙලොව උපත ලබන්නේද, ඒ අහිතකර ස්වරූපයට අනුකූලවම ය. ක්‍රියාකාරී වන්නේද එලෙසම ය. දරුවන් අකීකරු වීමට තමන්ට නොගැළපෙන විවිධ ක්‍රියාවන්හි නිරත වීමට මෙම මූලික හට ගැනීම නිසි අයුරින් සිදු නොවීම හේතුවන බව නූතන විද්‍යාත්මක පර්යේෂණ මගින්ද හෙළිදරව් වී තිබේ.

මවකගේ වගකීම

මේ නිසා දරුවෙක් ලැබෙන්නට සිටිනා මවක් විශාල වගකීමක් ඇතිව දරුවා මේ ලෝකයට දායාද කිරීම සඳහා සූදානම් විය යුතු බව ධර්මයෙහි උගන්වා තිබේ.

සාමාන්‍යයෙන් මැටි පිඬක් ගුලිකර, නවමින්, දිග හරිමින් අපට අවශ්‍ය බඳුනක් සකසා ගත හැකි වන්නේ එය වියළීමට පෙරය. ප්‍රමාණය ඉක්මවා මදක් හෝ වියලි මැටි පිඬෙන් නිමැවෙන නිර්මාණය ඉරිතලා යන්නේ ය. අප බලාපොරොත්තුවන ප්‍රයෝජනයක් ලද හැකි නොවන්නේය. උපන්දා සිට වයස අවුරුදු පහක් පමණ වනතුරු දරුවා ද මැටි පිඬක් හා සමානය. දරුවා අනාගතය සඳහා මනාව හැඩ ගැස්විය හැකි වන්නේ එම වයසේදී ය. නූතන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දරුවෙකුගේ අනාගත ජීවිතය හැඩ ගැසීමේ කාර්යයෙන් 80% ක් අවුරුදු පහක කාලය තුළ සකස් වී අවසන් වන බවයි. ඒ අනුව කුඩා දරුවා පිළිබඳ තමන්ගේ වගකීම කොතරම් ද යන්න වර්තමානයේ අපේ අම්මාවරු මනාව තේරුම් ගත යුතු කරුණකි.

බුදු දහමට අනුව එහිදී මෑණියන්ගේ ප්‍රධාන වගකීම් වන්නේ සිය දරුවා වරදින් මුදවා ගැනීමය. “පාපා නිවාරෙන්ති’ වශයෙන් එය සඳහන් කොට තිබේ. දරුවා ළඟින් හිඳිමින්, වැරදි, නරක, නපුරු දේ නොකළ යුතු දේ ලෙස දරුවාට නිතර ඒත්තු ගැන්විය යුතු අතර ඒ සඳහා අම්මා සිය ආදර්ශය ද ලබා දිය යුතු වේ.

කුඩා දරුවා වඩාත් ආදරය කරන්නේ, සමීප වන්නේ අම්මාටය. දරුවාගේ ලෝකයේ වීරවරිය මවයි. දරුවා ඉක්මනින් ග්‍රහණය කර ගන්නේද ඇයයි. ඇයගේ හැසිරීමයි. අම්මා කන බොන සැටි, අඳින පලඳින සැටි, කතාබහ කරන අයුරු, ඇවිදින අයුරු, අන් අය සමඟ ගනු දෙනු කරන අයුරු අනුකරණයට දරුවා ස්වභාවයෙන් ම පෙළඹේ. මේ නිසා අම්මා වඩාත් සැලකිල්ලෙන් පළමු කොට සිය හැසිරීම් හසුරුවා ගත යුතු වේ.

වරදෙහි මුදවා, යහපතෙහි යෙදවීම

දරුවා වරදින් මුදවා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. යහපතෙහිද යෙදවිය යුතුය. එය බුදු දහමේ දක්වන්නේ ‘කල්‍යාණෙ නිවේසෙන්ති’ යනුවෙනි. ඉන් අදහස් කෙරෙන්නේ ‘මේ දේ කරන්නැ’යි දරුවාට අවවාද අනුශාසනා කිරීමට වඩා යහපත් ක්‍රියාවන්හි නිරත කරවීමය. ගෙදර සිටින ආච්චිට, සීයට කරුණාවෙන් සලකන්නට, උදේ සවස තෙරුවන් නමදින්නට ගේ දොර පිරිසුදුව තබා ගන්නට, සහෝදර සහෝදරියන් සමඟ ගැටුම් ඇති කර නොගන්නට, බෙදා හදා ගන්නට, අසරණයින්ට උදවු කරන්නට, පෞද්ගලික පිරිසුදු බව රැක ගන්නට, සංවරශීලි වන්නට, ආචාරශීලි වන්නට දරුවා ප්‍රායෝගිකව හුරු කළ යුතුය. අම්මා එය ආදර්ශයෙන් දරුවාට පෙනෙන්නට සැලැස්විය යුතුය.දරුවා නිසි පරිදි හැඩ ගැසෙන්නේ එවැනි දේ ඇසෙන, පෙනෙන, පරිසරයකය.

සිය දරුවා හොඳින් සමාජගත කිරීමේ තවත් අත්‍යවශ්‍ය සාධකයකි ඉගැන්වීම. “සිප්පං සික්ඛා පේති’ යනුවෙන් එය ධර්මයේ සඳහන් වේ. අද අපේ මෑණිවරු අවුරුදු 2-3 තරම් ළා බාල දරුවන්ට පවා පොතපතේ අධ්‍යාපනය ලබා දෙන්නට දක්වන උනන්දුව විශාලය. එය යහපතකට වඩා ඛේදවාචකයක් ලෙස සැලකීම උචිතය. පෙර සඳහන් කළ පරිදි බුදු දහමට අනුව මුලින්ම කළ යුතු වන්නේ පාපයෙන් වැළැක්වීම හා හොඳ දෙයෙහි යෙදවීම ය. පොතපත ඉගැන්වීමේ කාර්යය කළ යුතු ඉන්පසුව වුවද අවාසනාවකට අපේ සමාජයේ මෑණිවරු, බොහොමයක් මුල් තැන දී ඇත්තේ දරුවා උගතෙක් කිරීමට පමණය. අද පුංචි දරුවාගේ සිට තරුණ පිරිස දක්වාම නිර්මාණය වී තිබෙන නොසන්සුන් බව, කලබලකාරි ස්වභාවය, එහි ප්‍රතිඵලයන්ය. දරුවා උගත්කමින් මෙන්ම හදවතින් ද පෝෂණය කළේ නම් මෙවන් අභාග්‍යසම්පන්න බවක් දරුවන් වෙතින්ද දැකිය නොහැකි වනු ඇත.

අතීතයේ දරුවා උපන් දා සිට පාසලට ඇතුළත් වන තුරුම මවගේ ඇකයෙන් දුරස් වූයේ නැත. අම්මාගේ මුවින් ළයාන්විතව ගැයෙන නැලැවිලි ගීයෙන් සැනසුන දරුවා ජීවිතයට රසාලිප්ත බවක් එක් කරගත්තේය.

පරිසරයේ සුන්දරත්වය ගැන,ධර්මය ගැන, තමන් වෙනුවෙන් පියාණන් විඳින දුක් ගැහැට ගැන, රට, ජාතිය, ආගම ගැන මුල්වරට දරුවාගේ හදවතෙහි හැඟීමක් ඇති කළේ ඒ නැළැවිලි ගී ය. ලෝකය දුටුවේ ඒ ගී වලින් මතුවුණ අර්ථයට අනුවය. එහෙත් අද උපදින දරුවන්ට ඒ භාග්‍ය හිමිවන්නේ කලාතුරකින් ය. අත පොත් තුබූ දා සිට කටපාඩම් කරන්නට, යන්ත්‍ර සූත්‍ර මෙන් පොත පත ලිවීමට කියවීමට හුරුවීම, විනා දරුවාගේ සිතට ද ගතට ද විශ්‍රාමයක් නැත. නිදහසේ හැදනේනට, පරිසරය විඳින්නට, ඥාති හිතවත්කම්වල අගය වටහා ගන්නට විවේකයක් හෝ අවස්ථාවක් නැත. එවැනි දරුවාගෙන් අනාගතයේ සංහිදියාවක් බලාපොරොත්තු විය නොහැකිය.

යොවුන් වියට පැමිණෙන දරු දැරියන් වෙතද මෑණියන්ගේ සුවිශේෂී අවධානය යොමු කළ යුතුය. එම වයසේ ඇති වන ශාරිරික වෙනස්කම් සමඟ දරුවා විවිධ පැතිවලට යොමු වීම ස්වාභාවිකය. එය හොඳ හෝ නරක විය හැකිය. එහෙත් හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ හොඳ පමණක් තෝරා ගන්නට අම්මා, දරුවාට හුරු කරවිය යුතුය. කාර්ය බහුලකම නිසා හෝ වෙනත් හේතුවක් නිසා මේ අවස්ථාවේ දරුවා මඟ හැරුණේ නම්,අම්මාගේ ආදරය, තාත්තාගේ සැලකිල්ල නොලැබුණේ නම් වෙනත් කෙනෙකුගෙන් ඒ හිඩැස පුරවා ගන්නට දරුවා අනිවාර්යයෙන්ම පෙළඹෙනු ඇත. මේ නිසා මවුපිය දූදරු සම්බන්ධතාවය කිසිවිටෙක පළුදු වීමට ඉඩ නොතැබිය යුතුය. ඔවුනොවුන් අතර සුහද බව, සමීප බව, අන්‍යොන්‍ය විශ්වාසය වර්ධනය වන ලෙස ගෙදර පරිසරය නිර්මාණය කර දුන්නේ නම් ඒ දරුවා කිසි දිනෙක වරදට නොපෙළඹෙනු ඇත.

දරුවාට සිටින ලෙන්ගතුම, සමීපතම තැනැත්තිය විය යුතුවන්නේ මවයි. එසේ ළං වන වන තරමට දරුවකුගේ මානසික ගුණධර්ම වර්ධනය වේ. කරුණාව නම් දරුවකුට යම් කරදරයක්, මානසික ගැටලුවක්, පීඩාවක් සිදු වූ විටෙක ළෙන්ගතුබවින් ,අනුකම්පාවෙන් දරුවා ඉන් මුදවා ගැනීමය. සහනයක් ලබා දීමය. දරුවාගේ දක්ෂතා ඇගයීම ද අනිවාර්ය වේ. දක්ෂතාවය නොසලකා හැරීම දරුවාගේ උනන්දුව හීන කරයි. ප්‍රදර්ශනීය ආශාව දරුවන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. එවැනි අවස්ථා අගය කිරීම, තවදුරටත් උනන්දු කිරීම කළ යුතු බව ධර්මානුකූලව පෙන්වා දිය හැකිය.

බුදු දහමට අනුකූලව දරුවෙකු සම්බන්ධයෙන් වගකීම් දරන මෑණියන් ක්‍රියා කළ යුතු වන්නේ මේ ආකාරයටය.ඔබත් එවැනි මවක් නම් ඔබගේ දරුවා හෙට දිනයේ සහනශීලි තෘප්තිමත් කලබලකාරි නොවන, හැඟීම්වලට වහල් නොවී බුද්ධිමත්ව සිතන පුරවැසියෙක් වනු ඇත. එය දරුවා වෙනුවෙන් සේම හෙට දිනයේ සමාජයේ සුබ සිද්ධිය වෙනුවෙන් ද කරන අගනා ආයෝජනයකි.

කොළඹ මාලිගාකන්ද
විද්‍යෝදය මහ පරිවේණාධිපති,
දර්ශනපති
බලංගොඩ සෝභිත නාහිමි

Most reason search:

  • දරුවන් නැලැවිලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*