Posted on

මානය දියුණුවට බාධාවකි

මානය දියුණුවට බාධාවකි

බුදුරදුන් තුළ පැවති නායකත්ව ගුණ අතර සහනශීලීත්වය ඉතා වැදගත් වූ ගුණයකි. ශ්‍රාවකයන් උදෙසා මෙන් ම තම අනුගාමිකයන් උදෙසා ද සහනශිලීත්වයෙන් යුක්තව කටයුතු කළහ. අන්‍යාගමිකයන් විෂයෙහි ද මෙම ගුණය විදහා දක්වන්නට උන්වහන්සේ කටයුතු කළහ. විනය නීති පවා පැනවූයේ අවශ්‍යතාවය සඳහා පමණි. මහා පරිනිබ්බාණ සූත්‍රයේ දී පවා දේශනා කළේ භික්ෂූන් වහන්සේ පාලනය කිරීමේ වුවමනාවක් තමන් වහන්සේට නොමැති බවයි. කාශ්‍යප හිමියන් වනගතව විසීම පිළිබඳව කරුණු විමසූ අවස්ථාව මීට කදිම නිදසුනකි. ඇතැම් විනය නීතිරීති පවා අවස්ථාවට අනුකූලව වෙනස් කර ගැනීම ඊට කදිම නිදසුනකි.

වස්සාවාසික ශික්ෂාව පැනවීම මෙන් ම අනෙක් සෑම ශික්ෂාවක් තුළම මෙම සහනශිලී ගුණය හඳුනාගත හැකිය. එමෙන්ම අවසාන වශයෙන් පිරිනිවන් මඤ්චකයේ දී ආනන්ද හිමියන් අමතා බුදුරදුන් දේශනා කරනුයේ ඛුද්ධානු ඛුද්ධක ශික්ෂාපද පවා වෙනස් කරගන්නා ලෙසයි. ඇතැම් ශික්ෂාපද අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක්කළහ. එසේ සිදු කළේ උන්වහන්සේගේ සහනශිලීත්වය ප්‍රදර්ශනය කරමිනි. නායකයෙකු සැබෑ නම් ඔහු තුළ මෙම ගුණය තිබිය යුතුමය. තවද අන්‍ය ආගමිකයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැදහත්ව අධ්‍යනය කරමින් තම සසුනේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළහ. ශාසනික තනතුරු පිදීම හා ඇතැම් අභියෝගාත්මක අවස්ථාවන්හි දී මෙම ගුණය හඳුනාගත හැකිය. පාරිලෙය්‍ය වනයට වැඩමවීම එයට එක් උදාහරණයකි. ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම උන්වහන්සේගේ සහනශීලි ආකල්පය ප්‍රදර්ශනය වන ප්‍රධාන අවස්ථාවකි. මෙහි දී බ්‍රහ්ම යනු උතුම් යන්නයි.

බුදුරදුන් නායකයෙකු ලෙස අනතිමානී ගුණය උපරිම ප්‍රදර්ශනය කළහ. උඩඟු වීමට අවශ්‍ය බොහෝ කාරණා උන්වහන්සේ සතු වූහ. එහෙත් කිසිවිටක එසේ උඩඟු නොවූහ. නායකත්වයන් ලැබූ විට සියල්ල අමතක කර තමාට වඩා කෙනෙකු නැත යැයි සිතන පිරිස් අනන්ත අප්‍රමාණව දැකිය හැක. ශරීරය එහි අංග ලක්ෂණ මෙන් ම උත්තරීතර ගුණ අතින් ගත්විට ද බුදුරදුන් අති ශ්‍රේෂඨය. ආයතනයක යම් තනතුරක් ලැබූවත් ඇතමෙකු මාන්නයට පත් වී මුළාවට පත්වේ. ඒ තුළ පවතින්නේ මාන්නාධික බවකි. බුදු දහම මෙන් ම බුදුරදුන් මාන්නය ප්‍රතික්ෂේප කළහ. සෑම අතින් ම සම්පූර්ණ වනවා යනු උපරිම නිහතමානි වීමයි. වී කරල් ඵල බරවීමේ දී බිමට නැමෙන්නා සේ අනතිමානී ගුණයෙන් ආඩ්‍යවිය යුතුය. භාරතයේ බොහෝ ශාස්තෘවරු සිටියත් ඒ සියල්ලෝ ම අතර බුදුරදුන් මනා නිහතමානී ගුණයෙන් යුක්ත විය. ඒ සඳහා බොහෝ උදාහරණ සැපයිය හැකිය. අන්‍ය ඉගැන්වීම්වල ඇති යහපත් දේ උකහා ගැනීමට බුදුරදුන් නිහතමානී වූහ.

ජෛන පංච විරතිය ඊට කදිම නිදසුනකි. එහෙත් ඇතැම් ශෘස්තෘවරු බුදු දහමේ ඇති හරය එකතු කර ගැනීමට මැලිවූහ. ඊට දැක්විය හැකි හොඳම අවස්ථාව සංජයගේ ප්‍රකාශයයි. සංජයට උපතිස්ස කෝලිත දෙපළ බුදු දහමේ සත්‍ය ප්‍රකාශ කළ විට ඔහු එය බාරගැනීමට මැලි විය. එපමණක් නොව තමන්ට හැලියක්ව සිට හැන්දක්ව විය නොහැකි බවයි. ආර්ය පර්යේසන සූත්‍රයට අනුව බැලීමේ දී බුදුරදුන්ගේ නිහතමානී බව හඳුනාගත හැකිය. එනම් තමන් වහන්සේ සංසාර ජීවිතයේ දී බොහෝ අනාර්ය පර්යේෂණ සිදුකොට ඇති බවත් තමන් වහන්සේ දැන් ආර්ය පර්යේෂණය සොයාගත් බවත්ය. එසේම සත්‍ය සොයායාමේ දී තමන්ට ලැබුණු යම් යම් තනතුරු නිහතමානීව අත්හැරීමට කටයුතු කළේ තම අරමුණට එම තනතුරු බාධා වූ බැවිනි. ඒ බව ආර්ය පර්යේෂණ සූත්‍රයේ දී පැහැදිලිව දේශනා කළහ. උද්ධකාරාමපුත්ත ආලාර කාලාම ඇත්හැරීමට කටයුතු කළේ එහෙයිනි.

බුදුරදුන් නිහතමානී වූ අතර අන්‍යයන්ගේ මානය ගැරහීමට ලක් කළහ. තම ඥාතීන්ගේ පවා මාන්නය උන්වහන්සේ දුරු කළහ. යමා මහ පෙළහර පැවැත්වූයේ ඒ නිසාවෙනි. ඛේමාවට ආර්ය ලාභය ලැබීමට බාධාවක්ව පැවතියේ ඇය තුළ පැවති මාන්නයයි. නායකයෙකු තුළ කුමන කරුණක් නිසා හෝ මාන්නය තිබිය යුතු නොවේ. චුල්ලකම්ම විභංග සූත්‍රයේ දී තෝදෙය්‍ය බමුණා තම නිවසේ සුනඛයෙකු වී ඉපදීමට හේතුවූයේ මාන්නයයි. කුමන තනතුරු දැරුවද සියල්ලෝ ම මිනිසුන් බව තේරුම් ගත යුතුය. මිනිසුන් නිසාම යම් විටක ලෙඩ වීමට මියයාමට ලක්වේ. එය ස්වාභාවිකය. කිසිවෙක් සදාකාලිකව ජීවත්වීමට පැමිණ නැත. උගත් බව, තරුණකම, ධනය, බලය, රූපය මෙය ලාභයන් වූව ද අර්ථය නොදැන කටයුතු කළහොත් පිරිහීමට හේතුවක් වේ.

නායකත්ව ලක්ෂණ අතර කම්පානොවීමේ ගුණය නායකුයෙකු තුළ අනිවාර්යෙන් ම තිබිය යුතුවේ. බුදුරදුන් උත්තරීතර අනුහස් නායකයෙකු ලෙස මෙම ගුණය මනාව විදහා දක්වන්නට වූහ. උන්වහන්සේ කිසිවිටක අටලෝදහමින් කම්පා නොවූහ. නායකත්වය දරන්නට නම් මල් මෙන් ම ගල් මුල්වලට ද ඔරොත්තු දිය යුතුවේ. ප්‍රශංසා පමණක් නොව ගැරහීම් ද බාරගත යුතු වේ. බුදුරදුන් මෙම ගුණයෙන් යුක්තව තම අරමුණු ජයග්‍රහණය කිරීමට කටයුතු කළහ. උන්වහන්සේ තරම් කීර්ති ප්‍රශංසාවන්ට ලක් වූ නායකයෙකු ලෝක ඉතිහාසයේ නොමැති තරම් ය. එමෙන් ම අපකීර්ති, ගැරහුම් ද නොලැබුණා නොවේ.

ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා සෑම කෙනෙකුටම පොදු වූවකි. එහෙයින් ලාභයේ දී මෙන්ම ප්‍රශංසාවේදී ද, උද්දාමයට පත්නොවිය යුතු අතර අලාභයේ දී සේම අපකීර්තියේ දී අධික කලකිරීමට පත්නොවිය යුතුය.

බුද්ධ චරිතය පුරාවට ම මෙම ගුණය හඳුනාගත හැකිය. ඒ සඳහා උදාහරණ රාශියක් ගෙනහැර දැක්විය හැකිය. අක්කෝස භාරද්වාජ සූත්‍රය මේ සඳහා කදිම නිදසුනකි. එසේ ම චිංචිමානවිකාව, සුන්දරියගේ මරණය වැනි අවස්ථා තුළින් මේ ගුණය හඳුනාගත හැකිවේ. නේරන්ජනාවේ වස් විසූ අවස්ථාවේ දී දානය පවා නොලැබුණි. උන්වහන්සේට තරම් ආහාර දානය ලැබූ කෙනෙකු නැති තරම්ය. මේ අවස්ථා දෙකේදී ම සමසිතින් උන්වහන්සේ එය ඉවසූහ. සැබෑ නායකයා යනු මැදහත්ව සියල්ල විඳ දරාගැනීමේ හැකියාව සතු කෙනෙකි.

දහම, දහම සඳහා නොව එය පුද්ගල පාරිශුද්ධිය සඳහා යොදා ගත යුතුය. රටක, ආයතනයක පාලකයන් මේ තත්ත්වය තේරුම් ගනිමින් කටයුතු කළ යුතුවේ. අනෙක් කරුණු හය වෙන වෙනම ගත් කළ ද පොදුවේ එලඹිය හැකි නිගමනය ද මෙයමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*