Posted on

පංචායුධය පැරද වූ ප්‍රඥායුධය

පංචායුධය පැරද වූ ප්‍රඥායුධය

අප කුඩා කාලයේ අද මෙන් ජනමාධ්‍ය බහුල වූයේ නැත. රූප පෙට්ටියක් ඉදිරියේ කාටුන් බලන්නට හෝ වෙනත් ටෙලිනාට්‍ය නරඹන්නට ළමා අපට අවස්ථාවක් ලැබුණේ ද නැත. එකල අපට රස විඳින්නට තිබුණේ ගම කතාය. එසේත් නැති නම් ජනකතා හෝ ජාතක කතාය. ආච්චි හෝ සීයා, ගැමි වහරින්ම කියනවා නම් කිරි අම්මා හෝ කිරි අත්තා විසින් රාස්සිගේ අව්ව වැටෙන හැන්දෑ යාමයේ ගෙයි පිල් කඩ මත්තෙහි හරි බරි ගැහී කියා දෙනු ලැබූ ඒ කතාන්දරවල ජීවත් වූ චරිත අපට හොඳ නරක කියා දුන්නේ ය. වීරත්වයේ අගයද, බියසුළුකමේ අහිතකර ආදීනව ද කියා දුන්නේ ය. ළමා අපේ සිත් සාහිත්‍ය රසයෙන් පෝෂණය කළේ ය.

එකල්හි මේ නොවිධිමත් අධ්‍යාපනය මඟින් අප සිත්තුළ ගුණ මතු කළේ ය. කාලය කෙමෙන් ගෙවී ගියේ ගුණ මැකී ‘නැණ’ මුල්තැනට පැමිණෙමිනි. අද අපේ සමාජයේ මවුපියවරු සේ ම ගුරුවරුද දරුවන්ට අකුරු කරවන්නට ගන්නා වෙහෙස මොන තරම්ද ගුණයට වැඩි ඉඩක් වෙන් නොකිරීමේ ප්‍රතිඵල ද ඒ සමඟම අපි අත් විඳිමු. වරදක් කළ දරුවකුට දඬුවමක් දෙන්නට පවා අද බොහෝවිට ගුරුවරු බියය. ඒ තමන්ටද පෙරළා දඬුවම් ලැබෙන්නට ඉඩ ඇති බැවිනි. එහෙත් මීට වඩා ගුරුවරු සිසු දරු දැරියන්ට දඬුවම් කළ කාලයක් තිබුණි. වරදකදී අත්ල රතු පැහැ ගැන්වෙන තරමට වදින වේවැල් පහරින් එදා වරද නිවැරැදි කරගත්තා මිස ගුරුවරයා පිළිබඳ වෛරයක් ඇති කර ගත්තේ නැත. දඬුවම මැදහත් සිතින් ඉවසීම මිස ගුරුවරයාට පෙරළා පහර දුන්නේ නැත.

‘වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතු
මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු
පමා නොවී යම් අකුරට මෙයින් මතු’

ආදී ලෙස කවියට පබැඳුණේ අතීතයේ ළමා හදවත් හි වූ සුගන්ධයයි.

ජාතක කතා සාහිත්‍යයේ එන ‘පංචායුධ’ ජාතකය විශේෂයෙන් ළමා මනසේ නැණ, ගුණ දෙකම වඩන කතා පුවතකි. ගුරුගෙදරින් ශිල්ප නිමවා ආපසු එන ගමනේ දී එක් කුමාරයෙකුට රාක්ෂයෙක් මුණ ගැසේ. කෙනෙක් පහර දුන්නේ නම් සිරුරෙහි ඇළෙනවා මිස මේ රාක්ෂයාට වේදනාවක් හෝ හානියක් සිදු නොවේ. කුමාරයා දුටු රාක්ෂයා ඔහු අල්ලාගෙන කන්නට සැරසුණි. ‘මා ළඟ ආයුධ පහක් තිබෙනවා. නුඹට ඒවායින් පහර දෙනවා. හිතන තරම් ලෙහෙසියෙන් නුඹට මා අල්ලාගත නොහැකියි.’ කුමරු නොබියව කීවේ ය. කුමරු එක් අතකින් රකුසාට පහර දුන්නේ ය. ඒ අත රාක්ෂයාගේ සිරුරේ ඇලුණි. අනෙක් අතින් පහර දුන්නේ ය. ඒ අතද ඇලුණි. දෙපයින් පහර දුන්නේ ය. දෙපා ද ඇලුණි. ඉතිරි වූයේ හිස පමණි. කුමරු හිසෙන් ද පහර දුණි. හිසද රාක්ෂයාගේ සිරුරෙහි ඇලුණි. ‘දැන් නුඹගේ ආයුධ පහම ඉවරයි. ඉතින් ගැලවීමක් නැත. නුඹව සැණෙකින් කා දමන්නෙමි’ යි රාක්ෂයා ගුගුළේ ය. කිසිදු බියක් නොපෙන් වූ කුමරු ‘හා…. හා….. රකුස. මා ළඟ තවත් ආයුධයක් තිබේ. එය ඇත්තේ මාගේ කුසතුළය.

ඔබ මා ආහාරයට ගත්තේ නම් ඒ ආයුධයෙන් ම ඔබද මිය යනු ඇත’ කිසිදු චකිතයක් නොමැතිව කුමරු කී ඒ වදනින් රකුසා බිය විය. අවධානමට පෙර සූදානම සුදුසු යැයි වහාම සිය සිරුරට ඇළී සිටි කුමරු නිදහස් කර හැරියේ ය.

මේ කුමාරයා යක්ෂයාගෙන් බේරුණේ පංචායුධය නිසා නොවේ. ප්‍රඥායුධය නිසාය. ‘පංචායුධ ජාතක’ කතාව දරුවන්ට පමණක් නොව මව්පියන්ටද අපූර්ව පණිවුඩයක් දේ. අපේ සමහර මවුවරු දරුවන්ගේ ගෙල ‘පංචායුධයකින්’ සරසන්නේ ආරක්ෂාව බලාපොරොත්තුවෙනි. එහෙත් ආයුධ පහක සංකේතයක් එල්ලූ පමණින් දරුවා ආරක්ෂා වන්නේ නැත.

අනාගතයේ දිනෙක තමන් රැකබලා ගන්නට ඉන්නා දරුවාට දිය හැකි ශක්තිමත්ම ආයුධය ගුණ නැණ දෙකය. ඒ සඳහා දරුවන්ට හරවත් දේ අසන්නට, කියවන්නට සැලැස්විය යුතුමය. හරසුන්, ඉන්ද්‍රජාලික චරිත ජීවිතයට හිස් බවක් මිස බරක් එක් කරන්නේ නැත. එදා මෙවැනි ජාතක කතා ඉගෙනගත්, අසා දැන කියා ගත් දරුවා වීරත්වය හඳුනා ගත්තේ ය. යකෙකුටවත් බිය වන්නට ඕනෑ නැති බව, යකෙකුගෙන් වුවද බේරෙන්නට හැකිබව තේරුම් ගත්තේ ය. එදා අපේ අම්මාවරු අපට මිදුලේ දුව පැන සෙල්ලම් කිරීම තහනම් කළේ නැත. ‘වැටෙයි පුතා’යි අප බිය ගැන්වූයේ ද නැත. වැටුණොත් රිදෙන බව, අනතුරු වෙන බව, ආරක්ෂා විය යුතු බව අප ඉගෙන ගත්තේ ද වැටි වැටී ය. අතීතයේ අම්මාගේ මුවින් ගැයුන ළයාන්විත දරු නැළවිලි ගීය ද බිළිඳු සිතේ වීරත්වය මිස බියගුළුකම ජනිත කළේ නැත.

‘ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා’

මවකගේ ඉගැන්වීම

අම්මා දරුවා නැළෙව්වේ ‘පුතේ ඇතින්නියට බය වෙන්න එපා. පුතා දැකලා ඇතින්නියයි දුවන්නේ’ යනුවෙන්ය. වීරත්වය හැඟෙන, දැනෙන මෙබඳු සාහිත්‍ය නිර්මාණ නිසා හැදුණේ පෞරුෂයෙන් යුතු ගුණවත් දරුවෙකි. සුභාෂිතයේ දී

‘පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොමවේය දුරු’

ලෙසින් අවධාරණය කළේ ගුණැති, නැණැති පුතෙකුගේ උදාරත්වය ය. අනේක තරු රැසකින් පළවා හැරිය නොහැකි රැයෙහි අන්ධකාරය එකම පුන්සඳකින් දුරු කර හරින්නා සේ ගුණවත් නැණවත් පුතු මුළු ලෝකයටම ආලෝකයක් වන්නේ ය යන බවය. එහෙත් සංකීර්ණ සමාජ වටපිටාවක මේ ටික අමතක කරන සමහර අම්මලා අද ප්‍රාර්ථනා කරන්නේ ‘නැණ ධන’ ඇති පුතුන් ය. වැඩිහිටි නිවාසයන්හි, මහ මඟ අගු පිල්වල දුක් විඳින, සිඟමන් යදින අසරණ මව්පියවරු නිහඬව කියා දෙන්නේ ඒ ඛේදවාචකයේ ප්‍රතිඵලයන්ය.

මේ නිසා අපේ සාහිත්‍යයේ, වීරකතා සම්ප්‍රදායේ රසය නැවත කුඩා දරුවන්ට ලබා දෙන්නට කාලය පැමිණ ඇත. 60 – 70 දශකයන් හි විශේෂයෙන් ලේක්හවුස් පුවත්පත් මේ කාර්ය භාරය වගකීමෙන් ඉටු කළේ ය. එකල මගේ ශිෂ්‍ය ජීවිතයේ ද පරමාදර්ශය වුණේ ‘නවයුගය’ පුවත්පතය. එය ජීවිතයට විශ්වවිද්‍යාලයක් බඳු විය. අපේ වත්මන් දරු පරපුරද ඒ තැනට රැගෙන යන්නට දැන් සුදුසුම කාලය වන්නේ ය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය
අත්තනායක එම්. හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*