Posted on

දුරු කළ යුතු නරක පුරුදු

දුරු කළ යුතු නරක පුරුදු

බොදු දරුවන් ලෙස අප ශීලාචාරව හැදෙන්නට වැඩෙන්නට ඕනෑ. හැම ක්‍රියාවකින්ම බෞද්ධකම, හැදියාව අන් අයට පෙන්නුම් කරන්නට ඕනෑ.

ආහාර ගැනීමේ දී අනුගමනය කළ යුතු හොඳ පුරුදු මොනවාද? බුදුරජාණන් වහන්සේ එය පියවරෙන් පියවර අපූර්ව ලෙස විස්තර කොට තිබෙනවා.

මිනිසුන් ලෙස ජීවත් වුණ ද අප අතර සිටින ඇතැම් අයගේ ස්වරූපය අමනුෂ්‍යයන් වගෙයි. හිරු නැඟී හෝරා කිහිපයක් ගෙවෙනතුරු පිබිදෙන්නට මැළි, දත් මැද මුහුණ සෝදන්නට, හිස පීරා පිළිවෙලට ඉන්නට අලස, පිරිසුදු ඇඳුම් අඳින්නට, කෑමට පෙර අත සෝදන්නට, නිවෙසට අමුත්තෙක් පැමිණි විට සුහද මුහුණින් පිළිගන්නට නොදන්නා, මිනිසුන් සමඟ සිනාසෙන්නට නොදන්නා කෙනෙක් දුටුවනම ‘ඒ නම් මනුෂ්‍යයෙක් නොවෙයි. අමනුෂ්‍යයෙක්’ යැයි වැඩිහිටියන් පවසනු ඔබ අසා ඇති. මේ දුෂ්චරිත අපගේ ජීවිත ඇඳුරු කරනවා. අමනුෂ්‍ය ලක්ෂණ පෙන්නුම් කරනවා. අඳුරෙන් එළියට එන්නට නම් කුඩා කාලයේ සිටම අප ශීලාචාර හැසිරීම්වලට හුරු පුරුදු විය යුතුයි. අපේ බුදුහාමුදුරුවෝ පුංචි දරුවන්ගේ ශීලාචාරකම ඉහළින් අගය කළා.

ආහාර ගැනීමේ දී පවා විනීත විය යුතු බව උන්වහන්සේ දේශනා කළා. හකු දෙකෙහි පුරවාගෙන වඳුරන් වගේ ආහාර ගැනීම, සුරු සුරු ශබ්ද පිට කරමින් ආහාර ගැනීම, දිව එළියට දැමීම ආදිය අශීලාචාරබවේ ලක්ෂණයන්. එවැනි පුරුදු ඇති ළමයින් සමාජයේ පිළිකුලට ලක්වෙනවා. යහළුවන් පවා ඒ අයගෙන් ඈත් වෙනවා. ‘හරියට කෑම ටිකවත් කන්න දන්නේ නෑ’ යි අපහාස කරනවා.

ඉස්සර කාලේ අප හැදුණ වැඩුණ ගෙදර කිරි අම්මා, කිරි අත්තා, නැන්දලා, මාමලා, පුංචි අම්මලා මේ හැමෝම හිටියා. ජීවිතේ ශීලාචාර පුරුදු බොහොමයක් කියලා දුන්නේ ඒ අය. ඒත් දැන් හුඟක් පවුල් අම්මට, තාත්තට, දරුවන්ට පමණක් සීමාවෙලා. දරුවන්ට හොඳ පුරුදු කියා දෙන්නට සමහර මවුපියන්ටත් විවේකයක් නෑ. ඒත් බොදු දරුවන් ලෙස අප ශීලාචාරව හැදෙන්නට වැඩෙන්නට ඕනෑ. හැම ක්‍රියාවකින්ම බෞද්ධකම, හැදියාව අන් අයට පෙන්නුම් කරන්නට ඕනෑ.

‘සම සූපකං’

වෑංජන අඩු වැඩි නොකොට සමව කෑම මිශ්‍ර කරගන්නට ඕනෑ. එවිට ආහාරයෙහි රසය වගේම ප්‍රසන්න බවක් ඇති වෙනවා. ‘න ථූපතොඕමද්දිත්වා සපදානං’ සමහර අය ආහාර ගන්නේ බත් පතෙහි මුදුනේ සිට. එය තමන්ට වගේම බලා සිටින අයටත් අප්‍රසන්න හැඟීමක් ඇති කරනවා. වඩාත් ලස්සන පිඟානේ තමන්ගේ පැත්තේ සිට පිළිවෙළට ආහාර ගැනීමයි.

ආහාර ගන්නාවිට එය පමණක් කරන්නට ඕනෑ. සමහර ළමයි බත් පිඟාන සමඟත් සෙල්ලම් කරනවා. වෑංජන සියල්ලම බත්වලින් වසනවා. ‘ඕදනෙත පට්ච්ඡා දෙස්සාමි’ එය බොහොම අශෝභනයි. තවත් සමහර අය කෑම කන්නේ අනිත් අයගේ පිඟන් දෙස බලමින්. වැරදි, අඩුපාඩු, තමන්ට ඇති නැති දේ සොයමින්. ‘උජ්ඣාන සඤ්ඤී’ වැරදි සෙවීමට අන් පිඟන් දෙස බලන්නට එපා’යි බුදු හාමුදුරුවෝ දේශනා කළා.

‘අතිමහන්තං කබලං’ ප්‍රමාණයට වඩා ලොකු බත් පිඬු කටට දමා ගැනීම නිසා බත් පිඬ සපා ගැනීමට අසීරුයි. ඇස්වල කඳුළු පුරවාගෙන එය ගිල දැමීමට ගන්නා උත්සාහය නිසා ඔබ විහිළුකරුවකුට සම වෙනවා.මුඛයෙන් ආහාර කැබලි එළියට විසිරීමටත් පුළුවන්. එය අශීලාචාරයි.

‘න භුඤ්ජමානේන සබ්බෝ බන්තේ මුඛේ පක්ඛි තබ්බෝ’

කටේ කෑම තියාගෙන තව තවත් ආහාර කටට දමා ගැනීම සුදුසු නෑ. ආහාර උගුරේ සිරවීමට, පුළුවන්. ආහාර කැබලි රැඳුණ මුව අයාගෙන සිටිනා කෙනෙක් දකිනවිට ඇති වන්නේ පිළිකුලක්. ඒ නිසා ‘න අනාහටේ කබලේ මුඛද්වාරං ව්චරිස්සාමි’ බත් පිඬ මුවට ළං වනතුරු කට ඇරීමෙන් වළකින්නට ඕනෑ.

ආහාර කටේ තිබියදී කතා කළොත් ආහාර ඉවතට විසිරෙනවා. සමීපයේ සිටින අයට එය කරදරයක් වගේම පිළිකුලක්. ‘න සකබලේන මුඛේන ඛියාරිස්සාමි’ එවැනි පුරුද්දක් වේ නම් අද සිටම ඉන් වළකින්නට ඕනෑ.

‘න අවගණ්ඩකාරකං’ හක්කේ ආහාර පුරවාගෙන සිටීමත් ‘න හත්ථනිදධුනකං’ ඉඳුල් අත ගසා දමමින් ආහාර ගැනීමත් අශෝභනයි.

සමහර ළමයි ආහාර ගන්නේ කෑම කටට විසි කරමින් බව ඔබ දැක ඇති. එවිට ඒ අය ගැන ඇති වන්නේ කවර හැඟීමක්ද? ඔබත් එලෙස ‘න පිණ්ඩුක්ඛේපමං’ කෑම කටට විසිකරමින් ආහාර ගන්නවා නම් ඔබට ඇති වූ අප්‍රසන්න හැඟීමම ළඟ සිටින අයටත් ඇතිවෙනවා. ඒ නිසා එවැනි දෙයින් වළකින්නට ඕනෑ.

‘න හත්ථනිල්ලේහකං’ කෑම ගැනීමේදී අත ලෙව කන්නට එපා. ‘න ඔට්ඨ නිල්ලේහකං’ තොල් ලෙවකන්නට එපා. ඔබත් සමඟ ආහාර ගන්නා අයට වගේම ඔබ දෙස බලා සිටින අයටත් එය අප්‍රසන්නයි. එවැනි පුරුදු ඔබගේ ගෞරවය නැති කරනවා.

බීම වර්ග, කැඳ වර්ග පානය කරනවිට සුරු සුරු ශබ්ද නැඟීම ඇතැම් අයගේ පුරුද්දක්. ‘න සුරු සුරුකාරකං’ එවැනි ශබ්ද නැඟීමෙන්, වගේම ‘න චපුචපුකාරකං’ තලු ගසමින් ආහාර ගැනීමෙන් වළකින්නට ඕනෑ. එසේ නොවුණහොත් ‘මේ ළමයා නම් කෑමට හරිම කෑදරයි’ යැයි, වැඩිහිටියන් වගේම යහළු යෙහෙළියන් පවා ඔබ විවේචනය කරන්නට ඉඩ තිබෙනවා. පිරිසක් සමඟ ආහාර ගන්නා විට අප කිසිවෙකුට කරදරයක්, පීඩාවක් නොවන ලෙසට හැසිරෙන්නට ඕනෑ. ආහාර ගන්නා ඉඳුල් අතින් භාජන, හැඳි, ජල භාජනය ඇල්ලුවේනම් ඒවා අපිරිසුදු වෙනවා. තව කෙනෙකුට ඒවා ප්‍රයෝජනයට ගැනීම අපහසුයි. ඒ නිසා ‘න සාම්සේන හත්තේන පානීය ථාලිකා පට්ග්ගහේ තබ්බා’ ඉඳුල් අතින් භාජන ඇල්ලීම සුදුසු වන්නේ නෑ.

ආහාර ගන්නේ කුස ගින්න නිවා ගැනීමට පමණක් නොවෙයි. ශරීරයේ පැවැත්මට අවශ්‍ය පෝෂණය ඉන් ලැබෙනවා. ‘අම්මා’ එහෙමත් නැතිනම් වැඩිහිටියෙක් අතින් රසට ගුණට සැකසෙන කෑම ටික විනයක් ඇතිව, ශිලාචාරව, ලස්සනට ආහාරයට ගන්නට ඕනෑ.

බාල වියේ සිටම හුරු කළයුතු මේ පුරුදු ජීවිතයට පුහුණු නොකළේ නම් වැඩිහිටියෙක් වූ පසුව ද ඒ අවිනීතකම් අත්හළ නොහැකි වෙනවා. ඒ නිසාම සමාජයේ ලජ්ජාවට පත්වන්නට සිදුවෙනවා. එය කෙනෙකුගේ පෞරුෂයට විශාල හානියක්. එම නිසා අපි ශීලාචාර පුරුදු ජීවිතයට සමීපකර ගන්නට හුරු පුරුදු වෙමු. .

Most reason search:

  • නරක පුරුදු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*